2018-19 යුරෝපයේ වැඩිම ගෝල ලාභියෝ

194

ලොව තරගකාරීම පාපන්දු ලීග් තරගාවලි ක්‍රියාත්මක වන යුරෝපා මහාද්වීපය, දකුණු ඇමරිකානු මහාද්වීපය මෙන්ම පාපන්දු උන්මාදයෙන් පෙළෙනවා. මේ වනවිට බොහෝ තරගාවලි වල 2018-19 තරගවාරය සඳහා ජයග්‍රාහකයින් තීරණය වී අවසන්.

බැට් මෑන් හා රොබින්, බයර්න් මියුනික් ට සමුදෙයි

ජර්මනියේ ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජය වන බයර්න් මියුනික් පාපන්දු ක්‍රීඩා සමාජයේ ස්වර්ණමය යුගයක…

සුපිරි තරගාවලියකට තියුණු අවසානයක් ලබාදෙමින් මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගත්තේ ලිවර්පූල් (Liverpool) සිහින නැවත වතාවක් කුණු කූඩයට ඇද දමමින්.

රොනාල්ඩෝ අහිමි වුනු රියාල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායම මෙවර ලා ලීගා (La Liga) තරගාවලිය පුරා අන්ත අසරණ වූ අතර මෙසීගේ ගෝල සංදර්ශන වලින් නැවත වතාවක් බාසිලෝනා (Barcelona) කණ්ඩායම ස්පාඤ්ඤ ලීග් කිරුළ දිනා ගන්නට සමත් වුනා.

තරගාවලිය ආරම්භයේදී පසුපසට ඇද වැටුනත් ඩොර්ට්මුන්ඩ් (Dortmund) අභියෝගය සාර්ථකව මර්ධනය කළ බයර්න් මියුනික් (Bayern Munich) කණ්ඩායම, අඛණ්ඩව සත්වන වතාවටත් ජර්මානු ලීග් කිරුළ දිනා ගන්නට සමත් වුනා.

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ මිලදී ගත් Juventus කණ්ඩායම ඉතාලි ලීග් ශූරතාව දිනා ගන්නා විට යොවුන් ක්‍රීඩක Kylian Mbappé ගේ සුපිරි වේගයෙන් PSG කණ්ඩායම ප්‍රංශ ලීග් 1 ශූරතාව දිනා ගන්නට සමත් වුනා.

හොඳම යුරෝපා ලීග් තරගාවලි පහම මෙසේ නිමා වනවිට අපේ මේ සූදානම එක් එක් තරගාවලි වල වැඩිම ගෝල ලාභීන් සොයා ලබන්නටයි. සුපුරුදු පරිදි ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වන්නේ ආර්ජන්ටිනියානු පාපන්දු විශ්ව කර්මයා වන Lionel Messi ටයි.

Lionel Messi – ස්පාඤ්ඤ ලා ලීගා තරගාවලිය – ගෝල 36බාසිලෝනා කණ්ඩායමේ සුපිරි තරුව ලියොනල් මෙසී මෙවරත් යුරෝපයේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටිනවා. ගෝල 36ක් හා ගෝල සඳහා දායක වීම් 13ක් මෙවර තරග වාරයේ තමන්ගේ නමට ලියාගත් ඔහු බාසිලෝනා කණ්ඩායමට ලා ලීගා කිරුළ දිනා දීමටත් ප්‍රබල සේවයක් ඉටුකළා.

මෙසී මෙවරද මුළු යුරෝපයේම පාපන්දු ලීග් තරගාවලි වල වැඩිම ගෝල ලාභියා ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ අඛණ්ඩව තෙවන වරටයි. Kylian Mbappé සමඟ යුරෝපයේ වැඩිම ගෝල ලාභියාට ලැබෙන රන් පාවහනේ (European Golden Shoe) සටනේ සිටි මෙසී, එයද පහසුවෙන් ජය ගත්තේ යොවුන් ක්‍රීඩකයාව දෙවන ස්ථානයට ඇද දමමින්.

කෙසේ වෙතත් මෙසීට ශූරයින්ගේ ලීග් තරගාවලියේ (Champions League) අවසන් මහා තරගයට බාසිලෝනා කණ්ඩායම රැගෙන යන්නට නම් හැකියාවක් ලැබුනේ නැහැ. ඒ ලිවර්පූල් කණ්ඩායම දෙවන අදියරේදී (2nd leg) නොසිතූ ලෙස බාසිලෝනා කණ්ඩායම පරාජය කළ නිසයි.

“මම වැඩිම ගෝල ලාභියාට ලැබෙන සම්මානය ගැන එතරම් සිතුවේ නැහැ. අපි තවමත් සිතමින් සිටින්නේ ලිවර්පූල් හමුවේ අත්විඳින්නට වුනු පරාජය පිළිබඳයි. මම පෞද්ගලික සම්මාන ගැන වැඩිය හිතන්නේ නැහැ.” මෙසී තමන් වැඩිම ගෝල ලාභියා ගැන අදහස් දක්වමින් පවසා තිබුනා.

බාසිලෝනා පාපන්දු සමාජයේ යුරෝපා ආධිපත්‍යය බිඳවැටීම

පසුගියදා පැවති “UEFA ශූරයින්ගේ ලීග් (Champions League)” තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන…

Kylian Mbappé – ප්‍රංශ ලීග් 1 තරගාවලිය – ගෝල 33

ලොව නැගී එන හොඳම පාපන්දු ක්‍රීඩකයා වන යොවුන් ක්‍රීඩක Kylian Mbappé මෙවර සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් වුනා.

Mbappé හට මෙසීව පසුකර යාමට අවසන් අවස්ථාව Stade de Reims කණ්ඩායමට එරෙහි තරගයේදී ලැබුනි. ඔහු ඒ වනවිට ගෝල 32ක් ලබාගෙන සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ තවත් ගෝල හතරක් පමණයි. කෙසේ වෙතත් Kylian Mbappé ගේ PSG කණ්ඩායම එම තරගය ගෝල 3-1ක් ලෙස පරාජය වූ අතර Mbappé ට හැකිවූයේ එක් ගෝලයක් වාර්තා කිරීමට පමණි.

නිමාවූ ලෝක කුසලානයේදී ද ප්‍රංශය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ Kylian Mbappé, ලියොන් කණ්ඩායමට එරෙහිව මිනිත්තු 13ක් ඇතුළත ගෝල හතරක් වාර්තා කළේ පාපන්දු ලෝකයම මවිත කරමින්. එමෙන්ම ඔහු Guingamp ට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේ එම කණ්ඩායම ගෝල 9-0ක් ලෙස අන්ත අසරණ කරමින්.

Fabio Quagliarella – ඉතාලි ලීග් Serie A – ගෝල 26

තවත් ඉතාම තරගකාරී ලීග් තරගාවලියක් හා ලොව පුරා ප්‍රේක්ෂකයින් මෙවර වඩා අවධානයෙන් නැරඹූ තරගාවලියක් ලෙස ඉතාලි Serie A තරගාවලිය හඳුන්වන්නට පුළුවන්. ඒ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ සිට ඉතාලියේ ජුවෙන්ටස් (Juventus) කණ්ඩායම හා එක්වීම සමඟයි.

කෙසේ වෙතත් රොනාල්ඩෝ ට මෙවර නම් සිතූ පරිදි දස්කම් දක්වන්නට හැකියාවක් ලැබුනේ නැහැ. ගෝල සඳහා සහය වීම් 8ක් හා සුපිරි ගෝල 26ක් සමඟින් වැඩිම ගෝල ලාභියා ලෙස ඉතාලියේ අභිෂේක ලැබූවේ ඉතාලි ජාතික Fabio Quagliarella. Sampdoria කණ්ඩායම නියෝජනය කළ ඔහු එම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9වන ස්ථානය දක්වා ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා.

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ද මෙවර තරගවාරයේ ගෝල 21ක් රැස්කර ගෙන සිටීම විශේෂත්වයක්.

Aubameyang, Mané, Salah – එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය –  ගෝල 22

ලොව තරගකාරිම ලීග් තරගාවලිය වන එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවරත් ඉතා උණුසුම් වුනා. තරගාවලිය කෙතරම් උණුසුම් ද යත් ක්‍රීඩකයින් තිදෙනෙක් වැඩිම ගෝල සටහනේ පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයක්.

සෙනගාල් ක්‍රීඩක Sadio Mané හා සුපිරි ඊජිප්තු ක්‍රීඩක Mohamed Salah ගෝල 22 බැගින් වාර්තා කරමින් වැඩිම ගෝල ලාභීන්ගේ සටහනේ පළමු ස්ථානයට පැමිණියේ ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන්. ඔවුන් දෙදෙනාම තරගාවලිය ආරම්භයේ සිටම ප්‍රතිවාදී ක්‍රීඩකයින් අන්ත අසරණ කරමින් ප්‍රබල ලෙස ගෝල වාර්තා කළ අතර Mohamed Salah තරගාවලියේ අවසාන භාගයේ සුළු ආබාධයන්ට ලක්වීම ලිවර්පූල් කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වුනා.

පළමු වතාවට යුරෝපයේ මුල් තැන් හතරම එංගලන්තයට

යුරෝපා පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට, UEFA සංවිධානය කරන ශූරයින්ගේ ලීග් (UEFA Champions…

2017-18 තරගවාරයේ ද එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට Mohamed Salah පත්වූයේ ගෝල 32ක් ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කරමින්.

Arsenal කණ්ඩායම නියෝජනය කරන ගැබොන් රාජ්‍යයේ Pierre-Emerick Aubameyang ද වැඩිම ගෝල ලාභීන් අතර සම පළමු ස්ථානය දිනා ගත්තේ Arsenal කණ්ඩායම වෙනුවෙන් ගෝල 22ක් රැස් කරමින්. ඔහු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙන්ම යුරෝපා ලීග් තරගාවලියේද දස්කම් දක්වමින් Arsenal කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යන්නට සමත් වුනා.

Robert Lewandowski – ජර්මානු Bundesliga තරගාවලිය – ගෝල 22

බයර්න් මියුනික් (Bayern Munich) කණ්ඩායමේ ගෝල මැෂිම, පෝලන්ත ජාතික Robert Lewandowski මෙවර ජර්මානු පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා ලෙස සම්මාන ලැබුවා. ගෝල 22ක් වාර්තා කළ ඔහු ඉතා වැදගත් තරග සියල්ලේ දීම බයර්න් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා.

ඔහුගේ ප්‍රහාරයන් නිසාම බයර්න් මියුන්ක් කණ්ඩායම 2018-19 Bundesliga ශූරයින් ලෙසද අභිෂේක ලැබූ අතර ලෙප්සිග් කණ්ඩායම පරාජය කරමින් ඔවුන් ජර්මානු කුසලාන DFB පෝකාල් තරගාවලියේ ද ශූරතාව ජය ගන්නට සමත් වුනා.

Robert Lewandowski මෙවර වැඩිම ගෝල ලාභියා ලෙස සම්මාන දිනා ගත්තේ සිව්වන වතාවට වීම විශේෂත්වයක්.

මෙවර Bundesliga තරගාවලිය පුරාවට නැගී එන තරුවක් වන Paco Alcacer ගේ දක්ෂතා කැපී පෙණුනා. ඩොර්ට්මුන්ඩ් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ඔහු ගෝල 18ක් වාර්තා කරගත්තේ එම කණ්ඩායම අනුශූරතාව දක්වා රැගෙන එමින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<