ඉඳුනිල්, ආයු රක්ඛන්තු ආවඩා!

1206

ආයු රක්ඛන්තු ආවඩා!

ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවිතා වූ එම පද වැල එක් යුගයක ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වදන් පෙළ බවට පත්ව තිබුණි. එම යුගයේ රණබිමේ සටන් වැදුණ විරුවන්ට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් නිර්මාණය වූ එම ගීය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වැළඳගත්තේ මහත් අභිමානයකිනි.

යුද්ධයේ හො නොහොඳ මොහොතකට පසෙක තබා එකී රණවිරුවා යන චරිතය ගැන විපරම් කර බැලුවහොත්, තම දිවිය පරදුවට තබා මාතෘ භූමිය ආරක්ෂා කිරීමේ කාර්යයේ නිරත වීම සියල්ලන්ටම කළ හැකි දෙයක් නොවේ. එයට අසාමාන්‍ය ධෛර්යයක් අවශ්‍ය ය. අප්‍රමාණ කැපකිරීම් කළ යුතුය. විටෙක තම දිවිය පවා පරදුවට තැබිය යුතුය.

එසේ මාතෘ භූමිය ජයග්‍රහණය කරවීම උදෙසා තම ජීවිතයට ඇති ඇල්ම මොහොතකට අමතක කර දැමූ තවත් එක් රණවිරුවෙකු පිළිබඳව පසුගිය දා නිමාවූ දකුණු ආසියානු තරගාවලිය තුළ දී අපට අසන්නට ලැබුණි.

ඔහු නමින් ඉඳුනිල් හේරත් ..

SAG තරගාවලියේ මීටර් 800 ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා සිටියේ ඔහු ය. තම ක්‍රීඩාවේ උපරිම රිද්මයට ළඟා වී සිටි ඉඳුනිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුවක් විය. 

නමුත් අවාසනාවන්ත ලෙස ඩෙංගු උණ රෝගයෙන් පීඩා විඳීම නිසා තම පදක්කම් බලාපොරොත්තු අත්හැරගන්නට සිදුවූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ඉඳුනිල්ටත් එක්වන්නට සිදුවෙතැයි බොහෝ දෙනා සිතුවේ තරගයට දින කිහිපයකට පෙර සිටම ඔහුටත් උණ රෝගය වැළඳී තිබුණ නිසාය. එය වඩාත් කණගාටුදායක තත්ත්වයකට පෙරළුණේ තරගයට පෙර දිනයේ ඉඳුනිල්ගේ උණ රෝගය ඉතා උත්සන්න වූ නිසාය.

SAG – ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපයක් රෝහල්ගත කෙරේ

මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය ……….

නමුත් තමා වෙත එල්ල වූ ජීවිත අවදානමද නොතකමින් තරග බිමට පිවිසෙන්නට ඉඳුනිල් තීරණය කළේය..

ඇයි අවදානම ගත්තෙ?”

ඒ මොහොත වන තෙක් මගේ සිත තුළ කැකෑරෙමින් තිබූ පැණය මම ඔහු ඉදිරියේ දිග හළෙමි.

කොහොම හරි රටට ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන්න ඕන කියල හිතුණා. තරගයට කලින් මාව පරීක්ෂා කරපු ඩොක්ට කිව්වදුවන්න එපා, හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නකියලා. ඒත් මම කිව්වානෑ ඩොක්ට දුවල ඉවර වෙලා තමයි හොස්පිට්ල් එකට යන්නෙකියලා. දිව්වට පස්සෙ වෙනදෙයක් වුන දෙන් කියල හිතාගෙනයි රේස් එකට ගියෙ

ඔහු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දෙයි. නමුත් ඔහුගේ පිළිතුර සැහැල්ලු නැත. මුදල් වෙනුවෙන් තරග පාවාදෙන ක්‍රීඩකයන් සිටිනා යුගයක රට වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කරවීමට තම දිවිය පවා පරදුවට තබනා ක්‍රීඩකයන් වර්තමානයේ ඉතා විරලය..

තරගාවලියට කලින් තිබුණ සූදානම කොහොම ද?”

පහුගිය අවුරුද්ද පුරාවටම මම හොඳටම කරල තිබුණ. තරගාවලියට යනකොට මම හොඳම තත්ත්වයක හිටියා. අනිවාර්යයෙන් මම ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්නවා කියල හිතාගෙන තමයි නේපාලෙට ගියේ

ඳුනිල් SAG තරගාවලියට පෙර පැවති තේරීම් තරගවල දී ඉතා හොඳ කාලයක් වාර්තා කර තිබුණි. මා පෙර සඳහන් කළ සේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුවක් වී සිටියේ ය.

අසනීප ගතිය මුලින්ම දැනුණේ කොහොම ද?”

නේපාලෙට බැහැලා දවස් දෙකකින් වගේ ඇඟේ අමාරුවත් එක්කම උණ ගත්තා. ඊට පස්සෙ බෙහෙත් ගත්තාම ටික ටික අඩු වුනා. පස්සෙ රේස් එක හෙට කියලා අද වගේ දවසක ආයෙත් හොඳටම උණ ගත්තා. අමාරුව වැඩි නිසාම ඩොක්ට ලේ එකක් පවා චෙක් කළා. වෙනකොට අපේ ගොඩක් අයට උණ හැදිලා තිබුනෙ. හැමෝම කිව්වෙ දුවන්න එපා, විවේක ගන්න කියලා. ඩොක්ට කිව්වෙත් හොස්පිට්ල් යමු කියලා. මං එවෙලෙත් කිව්වෙ දුවල තමයි හොස්පිට්ල් යනවා නම් යන්නෙ කියලා

ඔහුගේ හඬ ස්ථිරය. සෘජුය

SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා ……

වගේ ලොකු අවදානමක් ගන්න කොට මොන වගේ දේවල් ද ඔයාට හිතුනෙ?”

ඉස්සෙල්ලාම රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන එක තමයි පළවෙනි දේ වුනේ. මම අවුරුද්දක් තිස්සෙ හැමදෙයක්ම කරේ රටට මේ ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන්න. දුවන්න බැරි වුනා නම් අවුරුද්දක් තිස්සෙ කරපු හැම දෙයක්ම අපතේ යනවා. මම නේපාලෙට ගියෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න මිසක් විවේක ගන්න නෙවෙයි. ඉතින් මම හිතාගත්තා මම රටට ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙනවමයි කියලා

මව්බිම තමා වෙනුවෙන් වැය කළ මුදලට සාධාරණයක් ඉටු කළ යුතුය යන අදහස ඔහුගේ සිත තුළ වූවා විය හැක. එසේම තමා කැප කළ වසරක කාලය අපතේ යැවීමට ද ඔහු සූදානම් නොවන්නට ඇත. ඒ වෙනුවෙන් තම ජීවිතය පවා අවදානමට ලක් කරන්නට ඔහු සූදානම් විය.

 “තරගය ආරම්භ වෙන්න කලින් තිබුණ තත්ත්වය කොහොම ද?”

තරගෙ දවසෙ මට උණත් එක්කම සෙමත් හොඳටම වැඩිවෙලා තිබුණේ. මම අමාරුවෙන් ඉන්න කොට මාත් එක්ක හිටිය මෙඩිකල් එකේ මලිත් අයිය ඇවිත් බෙල්ල මසාජ් කළා. එහෙම කරන ගමන් එයා කිව්වෙ මල්ලි සෙකන්ඩ්, තර්ඩ් වෙන්න නම් දුවන්න එපා. ඒක තේරුමක් නෑ. දුවනවා නම් ගෝල්ඩ් එක ගහන්නම දුවන්න කියලා. නෑ මලිත් අයියෙ මම ගෝල්ඩ් එක ගහල තමයි එන්නෙ කියල එයාට කියලයි මම ග්‍රව්න්ඩ් එක ඇතුලට ගියේ.

රට වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් රණවිරුවෙකු සතු විය යුතු අධිෂ්ඨානය ඔහුගේ වදන්වල අන්තර්ගතය..

රේස් එක පටන් ගන්න යනකොට කොහොමද දැනුනෙ?”

මට අභියෝගය තිබුනෙ ඉන්දියන් ක්‍රීඩකයා එක්ක. ට්‍රැක් එකට යනකොට මට හරියට වෝමප් කරගන්නවත් ලැබිලා තිබුනෙ නෑ. මට එච්චරටම අමාරුයි. හැබැයි මම හිතුවා මම කොහොමහරි දුවන තැනට ඔළුව හදාගන්න ඕන කියලා. ඒක නිසාම ට්‍රැක් එකට ගිය වෙලාවෙ ඉඳන් අත්පුඩි ගහල කෑ ගහල මොරාල් එකේ හිටියා

ඇඟ ඇතුලෙන් මට තේරුණා මට අමාරුයි කියලා. ඒත් මම ඒක පෙන්නන්නෙ නැතිව කෑ ගහල හිටියා. අසනීප තත්ත්වය නිසා මම දුවයි කියල කවුරුත්ම හිතුවෙ නෑ. මම විදිහට ඉන්නව දැක්කම අනිත් ක්‍රීඩකයො මානසිකව වැටෙන්න ඇති.”

රේස් එක පටන් අරන් පළවෙනි ටික දුවනකොට කොහොමද දැනෙන්නෙ?”

මට ලොකු අමාරුවක් දැනුනා. මම පළවෙනි මීටර් තුන්සීය වගේ යනකොට මට පෙනුනා මගෙ පුහුණුකරුවා ට්‍රැක් එක අයිනෙ ඉන්නවා. එයා මට කිව්වා ඉන්දියන් ක්‍රීඩකයගෙ පිටිපස්සෙන් ඉන්න කියලා. අනිත් ක්‍රීඩකයන්ගෙන් හොඳටම කරන්නෙ ඉන්දියන් ක්‍රීඩකයා. ඒක නිසා මම හිතාගත්තා එයා එක්කම ඉන්නව කියලා. එහෙම හිතාගෙන මම එයා පස්සෙන්ම ගියා. අන්තිම මීටර් දෙසීය වගේ යනකොට මම දන්නවා මට මේක ගහන්න පුළුවන් කියලා. වෙනකොට ඉන්දියන් ක්‍රීඩකයා ගොඩක් අමාරුවෙන් තමයි ඉස්සරහට යන්නෙමම එයා පස්සෙන් ඉඳල ඉඳල අන්තිම මීටර් සීයට ඇවිත් තමයි මගෙ රේස් එක පටන් ගත්තෙ..”

අන්තිම මීටර් දහය පහළොව යනකොට කොහොමද?”

ඇත්තටම මට ටික මතක නෑ. අන්තිම හරියට එනකොට ඇඟේ තිබුණ මුළු හයියම දාල උපරිමයෙන් දිව්වා. අන්තිම මීටර් සීය දිව්වෙ ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියට. රේස් එක ඉවර කරලා විනාඩි දහයක් විතර යනකල් වුන කිසිදෙයක් මට මතක නෑ

මට තේරෙන්නෙ නෑ මොකද වුනේ කියලා. අඩුගානෙ රේස් එක ඉවර කළේ කීවෙනියට ද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. විනාඩි දහයකට විතර පස්සෙ තමයි මම ඇහුවෙ මං කීවෙනිය ද කියල. එතකොට තමයි දැනගත්තෙ මම ගෝල්ඩ් එක දින්නා කියලා.” 

දින්නා කියල දැනගත්තාම මොකද හිතුනෙ?”

ඒක වචනෙන් කියාගන්න බෑ මට. කරන්න බෑ කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල මට හිතුණා. මගෙ ජයග්‍රහණය ගැන මම විතරක් නෙවෙයි. පුහුණුකරුවො, සහෝදර ක්‍රීඩකයො, මෙඩිකල් ස්ටාෆ් එක ඇතුලු හැම කෙනෙක්ම පුදුම විදිහට සතුටු වුනා. 

ට්‍රැක් එකට යන මොහොතෙ පවා ඩොක්ට වුනත් මට කිව්වෙ අමාරුවෙන් දුවන්න එපා, ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න කියලා. මම එවෙලෙත් කිව්වෙ නෑ ඩොක්ට මම දුවන්නම ඕන, ඊට පස්සෙ වෙනදෙයක් බලමු කියලා. එහෙම තත්ත්වයක් තියාගෙන දුවල රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක දිනුව කියන්නෙ මට ඊට වැඩියෙ සතුටක් තවත් නැහැ.

ඉඳුනිල් හැඟීම්බර වෙයි. ඔහුගේ ගැඹුරු හඬ තුළ ඒ හැඟීම්බර බව තදින් කාවැදී ඇත. ලක් මාතාව රනින් සරසන්නට හැකිවීම පිළිබඳව ඔහුට ඇති සතුට වචනවලට පෙරලිය හැක්කක් නොවේ.

අන්තිමයා වී පැමිණ රන් දිනූ ආදේශිකාව “නිලානි”

නිලානි රත්නායක මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී ………..

දැන් මේ මොහොතෙ ඒක ගැන මතක් කරද්දි මොනවද හිතෙන්නෙ?”

ලෙඩ හැදිල ඉඳලත් රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක දින්න එක තමයි මට ගොඩක්ම වටින්නෙ.  ඒ ගැන හිතනකොට දැනෙන හැඟීම වෙන කිසි දේකින් ලැබෙන්නෙ නෑ. දිනුවට පස්සෙ ගොඩක් අය මට කතා කළා. හැමෝම සුභ පැතුවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.”

ඉඳුනිල්ගේ සිත තුළ ඇති මහත් වූ අභිමානය ගැන ඔබට මට තක්සේරු කළ නොහැක. එය ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් ක්‍රියා කළ අයෙකුට පමණක් උරුම වන හැඟීමකි. රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ වීර පුතෙක් ලෙස ඉඳුනිල් ඉතිහාසයට එක්වී හමාරය. 

ඉතින් මම ඔහුට සමු දිය යුතුය.

අන්තිමට කියන්න විශේෂ මොනවහරි දෙයක් තියනවා ද?”

මට උදව් කරපු, මගෙත් එක්ක හිටපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ThePapare.com එකෙනුත් අපි ආපහු එනකල්ම අපිට නිතර කතා කළා. මගෙ ඊළඟ අරමුණ තමයි කොහොම හරි ඔලිම්පික් එකේ අන්තිම අටදෙනා අතරට එන එක. දැන් මම සූදානම් වෙන්නෙ ඒ වෙනුවෙන්. ගොඩක් අමාරුකම් එක්ක තමයි මේ ගමන යන්නෙ. නමුත් රට වෙනුවෙන් මම කොහොම හරි ඒ දේ කරනවා.”

ඉඳුනිල් ඔහුට හැකි උපරිමය රට වෙනුවෙන් ඉටුකර අවසානය. නමුත් ඔහු නවතින්නට සූදානම් අයෙක් නොවේ. ඔහුගේ අරමුණ කෙසේ හෝ ඔලිම්පික් තරගාවලියේ අවසන් ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක් වීමයි. ඒ සඳහා ඔහුට ඔබගේත් මගේත් සහය අවශ්‍ය ය. ඔබගේ වචනයක දිරිගැන්වීමක් පවා ඔහුව තවත් අඩියක් ඉදිරියට තල්ලු කිරීමට ප්‍රමාණවත් විය හැක.

Thepapare.com අපි රට වෙනුවෙනුත්, රටේ ක්‍රීඩාව වෙනුවෙනුත්, ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් වෙනුවෙනුත් අපිට පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කිරීමට නිරතරයෙන් කැපවී සිටින්නෙමු. ඔබත් ඔබට හැකි උපරිමය වචනයකින් හෝ ඔවුන් වෙනුවෙන් ලබා දිය හැකි නම් අනාගතයේ පදක්කම් සටහන් තුළ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වන පදක්කම් ගණන දෙගුන තෙගුන වනවා නොඅනුමානය.

ඒ දිනය එළඹෙන තෙක් අපි එක්ව ගමන් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<