මොරටුව ප්‍රදේශයේ අභිමානවත් මහා ක්‍රිකට් තරගය “මොරටු රන් මහා සටන” 67 වන වරටත් අද (10) ආරම්භ විය. ඒ අතරතුර 80 දශකයේ දී මොරටු රන් මහා සටනේ ජය ධජ නැංවූ පතාක යෝධයෙක් සමඟින් දොඩමලු වන්නට ThePapare.com අපට අවස්ථාව උදා විය. ඒ අන් කවරෙකුත් නොව, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බැසිල් ජයවර්ධන මහතාය.

67 වැනි රන් සටන අදයි

67 වැනි රන් සටනට වැඩි වාසි සහිතව එක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය, 2011 වසරේ හිමි කර ගත් කුසලානය තම සන්තකයේ තබා ගැනීමට බලාපොරොත්තු වන අතර වේල්ස් කුමර විද්‍යාලය කුසලානය නැවතත් තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවනු ඇත.

“පාසලේ අවුරුදු 14න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් තමයි මගේ ක්‍රිකට් ජීවිතය පටන් ගන්නේ. 1980, 1981 සහ 1982 වර්ෂ වල විද්‍යාලය වෙනුවෙන් මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කලා.” ඔහු මහා ක්‍රිකට් තරගයේ මතකය අවදි කලේ ඒ අයුරිනි.

1

විශේෂයෙන්ම 1982 දී බාටා හොඳම පිතිකරු සම්මානය හිමි වුනේ මට. ඒ වෙනුවෙන් රුපියල් 250ක තෑගි වවුචරයක් හිමිවුණා. ඒ සිදුවීම මට අද වගේ තවමත් මතකයි.” බැසිල් මහතා සිය සුන්දර අතීතය මෙලෙස අප සමඟින් බෙදා ගත්තේ සිනාසෙමිනික.

“මම එක දිගට අවුරුදු 24ක් ක්‍රිකට් සෙල්ලම් කලා. මුවර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරද්දී මට සාජා වලට යන්න සිදුවුණා. එහිදීත් ක්‍රිකට් ක්‍රීඩා කලා. එහි දී 1992-1993 එක තරග වාරයක දී ලකුණු 748ක් ගැහුවා. ඊට පස්සේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. 1995 ඉන්දියාවේ දී ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් පැවැත්වුනා. ඒ සඳහා මමත් සහභාගි වුනා. ඉන්දියාවේ දී පැවති තවත් තරගයක දී අවසන් පන්දු දෙකට ලකුණු 10ක් ගහන්න තිබුනා. මම එම පන්දු දෙකට 6 පහර දෙකක් ගහල තරගය දිනුවා. පහුවදා ඉන්දීය පුවත්පත්වල පල වුනේ එම ලකුණු ලබා ගත්තේ ටිරෝන් ප්‍රනාන්දු කියල. ඒක වෙලා තියන්නේ මෙහෙමයි. ඒ වෙද්දී අනිත් අන්තයේ හිටියේ ටිරෝන් ප්‍රනාන්දු. 4 වෙනි පන්දුවේ දී මගේ නායකයා උඩ පන්දුවක් ලබා දී දැවී ගියා. එවිට පිතිකරුවන් තමන්ගේ අන්ත මාරු කර ගත්තා. එවිට ඔවුන් සිතුවේ ටිරෝන් තමයි ගැහුවේ කියල.” පාසල් ක්‍රිකට් වලින් පසු ජීවිතය පිළිබඳ ඇසූ විට, ඔහු අතීත සිදුවීම් සිනාසෙමින් අපට විස්තර කලේ එලෙසයි.

ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩාවට සමු දීමෙන් පසුව ජීවිතය පිළිබඳ ඔහු මෙසේ සදහන් කලේය.

“මම දැන් ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා. පුහුණුකරුවෙක් ලෙස මුල්ම පත්වීම ලැබුණේ 2001 වසරේ ගාල්ල මහින්ද විද්‍යාලයට. එහි දී මට හමු වුනා වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටින විචිත්‍රවත්ම ක්‍රීඩකයා වන ලසිත් මාලිංග. මාලිංග ඒ කාලෙත් ගොඩක් දක්ෂ ලෙස ක්‍රීඩා කලා. මම මාලිංගගේ ඉරියව් වෙනස් කලේ නැහැ. මම කලේ ඔහුගේ හැකියාවන් තවත් ඔප් නංවා ගන්න උපදෙස් දීපු එක විතරයි. ඔහු ඒ කාලෙත් පිතිකරුවෙක් විදියට ගොඩාක් දුර්වල මට්ටමක හිටියේ. මම ඔහුව ඒ පැත්තටත් යොමු කලා. අදත් මාලිංගයි මායි අතර හොඳ ගුරු ගෝල සම්බන්ධතාවයක් තියෙනවා.”

[rev_slider dfcc728]

වයසින් මුහුකුරා යාමත් සමඟ ක්‍රිකට් වලින් උගත් දෑ ඔහු මෙසේ අප හා බෙදා හදා ගත්තේය.

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් දවසින් දවස අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනවා. ඒක අපේ සාමාන්‍ය ජීවිතයටත් ඉතාමත්ම වැදගත් දෙයක්. තරගෙකට ගියාම අපිට හැම බෝලෙටම 4ක්, 6ක් ගහන්න බැහැ. බෝල් කරද්දී හැම බෝලෙටම කඩුලු ගන්නත් බැහැ. අන්න ඒ වගේ තමයි අනිත් හැම දේමත් සිද්ධ වෙන්නේ. තරගයක දී පිත්තට සහ පන්දුවට පමණක් කතා කරන්න ඉඩ ඇරලා අපි නිහඬවෙන්න ඕන. විනයානුකුල වෙන්න ඕන. ක්‍රීඩකයෙකුට තමන්ගේ ජිවිතේ ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබෙන මේ පන්නරය ගොඩාක් වටිනවා. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.”

“විශේෂයෙන්ම මම මගේ තාත්තට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද තාත්තා ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකල තමයි මම ක්‍රිකට් වලට යොමු වුනේ. ඒ වගේමයි පොඩි කලේ ඉඳලා මට හිටියා හොඳ ක්‍රිකට් පුහුණුකරුවෝ කිහිප දෙනෙක්. ඒ ගොල්ලන්ගෙන් ලැබුණ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම පාසලෙන් ලැබුණ දේවල්නුත් තියෙනවා. ඒ දේවල් වලින් ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා කිව්වොත් නිවැරදි.”

මොරටුවේ ක්‍රිකට් පිළිබඳව සදහන් කරන්නත් ඔහු අමතක කලේ නැහැ.

“මොරටුව කියන්නේ සහජ හැකියාවන්ගෙන් පිරුණු දරුවන් ඉන්න ප්‍රදේශයක්. බලන්නකෝ කුසල් මෙන්ඩිස්. ඒ දරුවට තියෙනවා උපතින් ගෙනාපු හැකියාවක්. විශේෂයෙන්ම සාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය, මේ හැම එකකම ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා. අතීතය හොයල බැලුවොත් ඉස්සර ඉදන්ම ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ බිහි වුන ප්‍රදේශයක් විදියට මොරටුව හඳුනා ගන්න පුළුවන්. දුලිප් මෙන්ඩිස් වැනි අය මොරටුවෙන් බිහිවුණු පැරණි ක්‍රීඩකයෝ.”

“මොරටුව කිව්වොත් එක්කෝ බයිලා, එක්කෝ ක්‍රිකට්” – සජීව ද සිල්වා

වමත් වේගපන්දු යවන්නෙකු යනු ක්‍රිකට් කණ්ඩායමකට වත්කමකි. වසීම් අක්‍රම්, නේදන් බ්‍රැකන්, සහීර් ඛාන් වැනි ලෝක ප්‍රකට වමත් වේගපන්දු යවන්නන් ලොව හෙල්ලූ ආකාරය ගැන අදටත් අපට මතක තිබේ…

“හැබැයි හොඳ ක්‍රීඩකයෝ බිහිවෙන්න තව දෙයක් බලපානවා. ඒ තමයි අපේ පුහුණුකරුවන්ට තියෙනවා භාරධුර රාජකාරියක්. ඒක තමයි නිවැරදි සංයුතියකින් යුතු කණ්ඩායම්, තරග වලට ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීම. එසේ නොකලොත් කවදාවත් දක්ෂයෙක්ට උඩට එන්න ලැබෙන්නේ නැහැ. නිවැරදි කණ්ඩායමක් තරගයකට දැම්මොත් ඕනෑම තරගයක් ජය ගැනීමේ හැකියාව අපේ දරුවන්ට උපරිමයෙන්ම තියෙනවා.” ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ භූමිකාව පිළිබඳව ද ඔහු මේ සඳහන කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළිබඳ හොඳ අත්දැකීම් ඇති නිසාවෙන් විය යුතුමයි.

නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔහු දෙන පණිවිඩය කුමක් දැයි අප කල විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“මෙහෙමයි, විශේෂයෙන්ම කියන්න ඕනි දැන් ඉන්න ක්‍රීඩකයන් ගොඩාක් දක්ෂයි. නමුත් විනය පැත්තෙන් දරුවන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ඇත්තටම අපේ කාලේට වඩා දැන් දරුවන්ගේ විනය තියෙන්නේ ගොඩාක් පහළ මට්ටමක. ඒ පිරිහීම අපි පුළුවන් ඉක්මනට වළක්වා ගන්න ඕන. අපේ විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා.”

“ලංකාව කියන්නේ හරි අමුතු තැනක්, යම් අයෙකුට යම් තලයක රැඳී සිටින්න හරි අපහසුයි අපේ රටේ. කවුරු හරි කොච්චර හොඳ දෙයක් කලත් ඒ හොඳ දේට නෙවෙයි තැන තියන්නේ. කාට හරි පන්දමක් ඇල්ලුවා නම් අන්න ඒ දරුවට ඉස්සරහට යන්න පුළුවන්. තව මෙහෙම කියමුකෝ අපි, යම් ක්‍රීඩකයෙක් කොච්චර දක්ෂ වුනත් සමහර විට ඔවුන්ගේ තාත්තලාගේ  කාලේ තාත්තාගෙන් වුනු වැරදි වලට පවා පලි ගන්නේ මේ දරුවන්ගෙන්. ඔවුන්ට ඉදිරියට යන්න කිසිම රුකුලක් දෙන්නේ නැහැ මේ අය.”

“මට දෙන්න පුළුවන් අනිත් අවවාදය තමයි තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසි ලෙස පවත්වාගෙන යන්න කියන පණිවිඩේ. මොකද අද බලන්න ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝම කීදෙනෙක් මේ විදියට එක දිගට ආබාධවලට ලක් වුනා ද කියලා. එහෙම වෙන්නේ නිසි අයුරින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය තියා ගත්තේ නැති වුනාම. හරි ආකාරව ඒ දේ කලොත් ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න පුළුවන්.”

රංජිත් ප්‍රනාන්දු මහතාට සමුදෙන මොහොතේ ඔහු අපට සුබ පැතුම් එක් කලේ මෙලෙසින්.

“ ThePapare.com කරන මේ සේවාවට අපි හැමෝම ගොඩක් ණය ගැතියි. විශේෂයෙන්ම ක්‍රිකට් වලටත් වඩා මලල ක්‍රීඩාවට වුන සේවය අගය කරන්නම ඕනි. ඔයාල නිසා තමයි ගමට ක්‍රීඩාව ගියේ. මේ කරන සේවය තවදුරටත් කරගෙන යන්න හැකිවේවායි කියල ප්‍රාර්ථනා කරනවා.”

ThePapare.com අපිත් ඔහුගේ සේවයට සුබ පැතුම් එක් කරමින් ඒ ආදරණීය මිනිසාට සමු දුන්නේ අද (10) සහ හෙට (11) දෙදින පුරා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මොරටු රන් මහා සටනෙන් සහ 12 වෙනි දින පැවැත්වෙන සීමිත පන්දු වාර තරගයේ දී මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක් කරමිනි.

 තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න