දකුණු ආසියානු ශූරතාවයට Omicron හරස් කපයි

SAAF රට හරහා දිවීමේ ශූරතාවය 2022

115
SAFF Cross Country Championship

මේ දිනවල ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ Omicron ප්‍රභේදය ඉන්දියාව ද ආක්‍රමණය කරන නිසාවෙන් මෙම මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රට හරහා දිවීමේ ශූරතාවය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම ප්‍රභේදය ඉන්දියාව තුළ පැතිර යාමත් සමඟ Nagaland ඔලිම්පික් කමිටුව සහ දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් Nagaland ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ, ජනවාරි 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවය කල් දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වන අතර තරගාවලිය පැවැත්වෙන නව දින වකවානු පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව ද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කළා.

පිරිමි කිලෝමීටර් 10 විවෘත තරගය සඳහා ආර්. එම්. එස්. පුෂ්පකුමාර, එස්. ආර්. විජයවික්‍රම සහ කේ. ශම්මුගේෂ්වරන් යන ක්‍රීඩකයනුත්, එම කාණ්ඩයේ කාන්තා ඉසව්ව සඳහා මධුමාලි හේරත්, චාමික සමුදිකා හේරත් සහ එම්. නිමේෂා යන ක්‍රීඩිකාවන් නම් කර තිබුණා.

එමෙන්ම තරගාවලියේ කනිෂ්ඨ පිරිමි කිලෝමීටර් 08 තරගය සඳහා ජාලිය මධුෂාන්, ඇන්ජලෝ බෙනඩික් සහ පී. මධුභාෂණ නම්කර තිබූ අතර එහි කාන්තා ඉසව්ව සඳහා එම්. කසුනි, එන්. ෆොන්සේකා සහ හෂිනි ලක්ෂානි යන ක්‍රීඩිකාවන් එයට සහභාගී කරවීමට සැලසුම් කර තිබුණා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<