සදීෂ් ජයවර්ධනගේ ආබාධය සුව අතට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1359

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සදීෂ් ජයවර්ධන පසුගිය 26 වැනිදා පැවති පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක්වූ නමුත් ඔහුගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා නිමා වූ 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාල තරගයට පෙර පැවති පුහුණු සැසියක් අතරතුර කඩුලු රකින පිතිකරු සදීෂ් ජයවර්ධන මෙසේ ආබාධයකට ලක්වුනා. ඒ ඔහුගේ වම් අතේ මහපට ඇඟිල්ලේ පන්දුවක් වැදීම නිසයි.

ඒ නිසාවෙන් ඔහුගේ ඇඟිල්ලේ අස්ථිවල යම් විස්ථාපනයක්/ අස්ථි බිඳීමක් (Dislocation/Fracture) ඇතිව තිබූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙත ඔහුව යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණා.

මේ වන විට ඒ සඳහා දමා තිබූ ප්ලාස්ටර් සියල්ල ඉවත් කර තිබෙන අතර කණ්ඩායමේ භෞතික චිකිත්සක ප්‍රියන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සදීෂ් සිය පුනරුත්තාපන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව  පසුගිය 2 වැනිදා කොදෙව් දූපත් වෙත ළඟා වුනා. ඔවුන් මේ වන විට දින තුනක නිරෝධායන කාලයක් පසුකරමින් සිටින අතර එය අවසන් කළ පසුව මේ මස 7 වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

එසේම ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක තනතුරේ වැඩ භාර ගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මේ මස 8 වැනිදා කොදෙව් දේශයට පිටව යාමට නියමිතයි. පසුව 9 වැනි ඉරිදා PCR පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල පැමිණි පසුව මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල සඳහා එක්වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සමඟ ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වදිනවා.

14 වැනි වරට පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සඳහා පැමිණ තිබෙන්නේ 2000 වසරේ දී පමණයි. මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ එම අවසන් මහා තරගයට පැමිණි සත්කාරක ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත්වුනා.

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<