All Blacks සහ Red Roses අවසන් හතරේ ගැටුමට ආසන වෙන්කර ගනිති

78

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ වටයේ ආරම්භ කරමින් අද (19) දිනයේ පැවති සුපිරි අටදෙනාගේ වටයේ පළමු තරග ද්විත්වයෙන් ජයගැනීමට All Blacks සහ එංගලන්ත කණ්ඩායම් සමත් විය. ඒ අනුව ඔවුන් අතින් පරාජයට පත්වූ Wallabies සහ අයර්ලන්ත කණ්ඩායම් හට හිස් අතින් නැවතත් තම මව්රටවල් බලා පිටත්ව යාමට සිදුවිය. 

තීරණාත්මක සටන සඳහා වේල්ස් ප්‍රබලයාගේ සහභාගීත්වය තහවුරු වේ

යම් හෙයකින් වේල්ස් Fly Half ක්‍රීඩක Dan Bigger තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූවා නම් නියත….

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය – පළමු අර්ධ අවසන් පූර්ව තරගය 

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රතිවාදීන් දෙදෙනෙකු සත්වන වරටත් ලෝක කුසලාන සටන් බිමේදී යළි මුණගැසුනේ අමතක නොවන තරග අත්දැකීමක් ප්‍රේක්ෂකයින් වෙත ළං කිරීමේ පෙර ලකුණු පහළ කරමිනි. 

ආරම්භයේ සිටම ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානුවන් එංගලන්ත ඉදිරි පෙළ වෙත දැඩි පීඩනයක් යොමු කරනු දැකගන්නට ලැබුනු අතර එම නිසාවෙන්ම අනතුරදායක tackle කිරීම් කිහිපයක් සඳහාම එංගලන්ත ක්‍රීඩකයින් පෙළඹෙනු දක්නට ලැබුනි. 

එවැනි අවස්ථාවකින් උපරිම ඵල නෙලාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Christian Lealiifano හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව සක්‍රීය කිරීම සඳහා දායක වූ නමුත් තරගයේ පෙරමුණ වැඩි වේලාවක් තමන් සන්තකයේ තබාගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අපොහසත් විය.

විනාඩි 3ක් වැනි කෙටි කාලසීමවක් තුළදී දෙවතාවක් ධවල රේඛාව අභිබවා යමින් තරගයේ පාලනය එංගලන්ත කණ්ඩායම වෙත හිමිකරදුන් Wing ක්‍රීඩක Jonny May තරගය පුරාවටම විශිෂ්ඨ ධාවනයන් කිහිපයකම නිරත වෙනු දක්නට ලැබිනි. 

ඉන්පසු ගතවූ කාල පරිච්ඡේදය තුළ කණ්ඩායම් දෙකම එකිනෙකාගේ බල ප්‍රදේශ තම ග්‍රහණයන්ට නතුකර ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් එකදු ක්‍රීඩකයෙකුටවත් උත්සාහක දිනුම් රේඛාවෙන් ඔබ්බට ගමන් කිරීමට නොහැකි විය. 

එනමුත් එංගලන්ත නායක Owen Farrell සහ ඕස්ට්‍රේලියානු Fly Half ක්‍රීඩක Christian Lealiiffano තමන් වෙත ලබාදුන් ලකුණු රැස්කිරීමේ අවස්ථාවන් නිසියාකාරව ප්‍රයෝජනයට ගත්තේ පිළිවෙලින් එක් දඬුවම් පහරක් සහ දඬුවම් පහර දෙක බැගින් ගෝල කණු අතරින් නිසි ඉලක්කය වෙත යොමුකරමිනි. 

පළමු අර්ධය : ඕස්ට්‍රේලියාව 09 (3P) – 17 (2T,2C,1P) එංගලන්තය

විවේක කාලයෙන් අනතුරුව තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවීමටත් මත්තෙන් ‍යළි ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු බල ගණය එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරක් මඟින් ලකුණු රැස් කිරීමේ සටනට පණ පෙව්වේ නැවත වතාවක් ජයග්‍රහණය පිළිබඳ යම් අපේක්ෂාවක් ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ දල්වාලමිනි.

Marika Koroibete එසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉහළට ඔසවා තබද්දී එම සතුට වැඩි වේලාවක් සැමරීමට ඔවුන්ට ඉඩ නොතැබීමට එංගලන්ත ක්‍රීඩකයින් දෙපලක් වන Kyle Snickler සහ Anthony Watson වගබලා ගත්තේ ද්විත්ව ප්‍රහාර මාලාවකින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක වැට සුණුවිසුණු කර දමමිනි. 

එම උත්සාහක දිනුම් දෙකත් සමඟින් කබලෙන් ලිපට වැටුනු Wallabies ක්‍රීඩකයින් තවදුරටත් අසරණ කරමින් ලකුණු පුවරුව සක්‍රීයව පවත්වා ගැනීමට එංගලන්ත නායක Owen Farrell සමත් විය. 

දෙවන අර්ධයේ දී දඬුවම් පහර තුනක් සහ එක් ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදූන් Farrell, ඒත් සමඟම එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට රැගෙන යාමට ද පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේය. 

අවසන් ලකුණු තත්වය : ඕස්ට්‍රේලියාව 16 (1T,1C,3P)  – 40 (4T,4C,4P) එංගලන්තය 

තරගයේ වීරයා – Tom Curry (එංගලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ 

  • ඕස්ට්‍රේලියාව – Marika Koroibete (1T), Christian Leailiifano (3P,1C)
  • එංගලන්තය – Jonny May (2T), Kyle Sinkler (1T), Anthony Watson (1T) Owen Farrell (4P, 4C)

රග්බි අයියලාගෙන් ගේම ඉල්ලන රග්බි මල්ලිලා

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් අප දුටු විශේෂිතම සිදුවීමක් ලෙස සඳහන් කළ …

නවසීලන්තය සහ අයර්ලන්තය – දෙවන අර්ධ අවසන් පූර්ව තරගය

ලෝක ශූර All Blacks කණ්ඩායම සමඟ උරින් උර ගැටිය හැකි ප්‍රබල කණ්ඩායම් අතලොස්ස අතරින් එකක් ලෙස අයර්ලන්තය මෙවර තරගාවලිය සඳහා පියමැන්නේ වෙනදාටත් වඩා ලෝක කුසලානය පිළිබඳ බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන බව නොරහසකි. 

කෙසේ නමුත් එම සුන්දර සිහිනයට බියකරු ආරම්භයක් ලබාදුන් All Blacks කණ්ඩායමේ Scrum Half ක්‍රීඩක Aaron Smith අයර්ලන්ත ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමින් උත්සාහක දිනුම් දෙකක් නවසීලන්තය වෙත වාර්තා කර දුන්නේ තරගය තුළ ලෝක ශූරයින්ගේ ආධිපත්‍යය පතුරවා හරිමිනි. 

අනපේක්ෂිත All Blacks ප්‍රහාරයෙන් වික්ෂිප්ත වූ අයර්ලන්ත ක්‍රීඩකයින් අතින් දිගින් දිගටම knock on වීම් වැනි වැළක්විය හැකි ගණයේ අත්වැරදීම් කිහිපයක් සිදුවූ අතර අවස්ථානුකූලව එයින් උපරිම ප්‍රයෝජන අත්පත් කරගැනීමට උපායශීලී නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

Beauden Barrett පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් තවත් උත්සාහක දිනුමකින් අයර්ලන්තයට සංග්‍රහ කළ අතර Richie Mo’unga පන්දුව ගෝල කණු අතරින් යොමු කිරීමේ කාර්‍යභාරයට සාධාරණයක් ඉටුකළේ එක් දඬුවම් පහරක් සහ ප්‍රවර්තන යුගලක් සාර්ථක කරගනිමිනි. තවද අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රධානතම බලකණුව වන Johnny Sextonගේ පසුගාමී ක්‍රීඩා විලාසය ඔවුන්ගේ අසාර්ථකත්වයට දැඩි සේ බලපෑ බව පැහැදිලිව පෙනෙන්නට විය.

පළමු අර්ධය : නවසීලන්තය 22 (3T,2C,1P) – 00 අයර්ලන්තය 

දෙවන අර්ධයේ දී තම අඩුපාඩු සකසා ගනිමින් දියත් කිරීමට නොහැකි වූ සැලසුම් ක්‍රියාවට නැංවීමේ අරමුණින් අයර්ලන්ත ක්‍රීඩකයින් තරග බිමට පිවිසියත් තමන්ට ආවේණික ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවේ කිසිඳු වෙනසක් සිදු කිරීමට නවසීලන්ත ක්‍රීඩකයින්ගේ සූදානමක් පෙනෙන්ට නොතිබිනි. 

Codie Taylor සහ Matt Todd අයර්ලන්ත ක්‍රීඩකයින් මුලා කරමින් තවත් උත්සාහක දිනුම් දෙකකින් ලකුණු පුවරුව පෝෂණය කරද්දී අයර්ලන්තය වෙනුවෙන් දිනයේ පළමු ලකුණු කිහිපය වාර්තා කිරීමේ ගෞරවය Henshaw සහ Carbery දෙපලට හිමිවූයේ අපේක්ෂාභංගත්වයට පත්වූ තම කණ්ඩායම හට යම් අස්වැසිල්ලක් ගෙන දෙමිනි. 

සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවක් එංගලන්ත – ඕස්ට්‍රේලියා රග්බි ක්‍රීඩකයින්ට මැදිවේ!

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මේ…

ඉන් අනතුරුව දඬුවම් උත්සාහක දිනුමකින් තවදුරටත් තම ලකුණු ගිණුම තර කරගත් අයර්ලන්තයේ මුළු ලකුණු සංඛ්‍යාව 14 දක්වා වර්ධනය වනවිට තවත් උත්සාහක දිනුම් දෙකකින් අයර්ලන්ත ක්‍රීඩකයින් හට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට නවසීලන්ත කණ්ඩායම යුහුසුළු විය. George Bridge සහ Jordie Barrett එසේ ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ නාමාවලියට තම නාමයන්ද එකතුකොට ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් විය. 


අවසන් ලකුණු තත්වය : නවසීලන්තය 46 (7T,4C,1P)  – 14 (1T,1PT,1C) අයර්ලන්තය 

තරගයේ වීරයා – Beauden Barrett (නවසීලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • නවසීලන්තය – Aaron Smith (2T), Beauden Barrett (1T), Codie Taylor (1T), Matt Todd (1T), George Bridge (1T), Jordie Barrett (1T), Richie Mo’unga (4C,1P)
  • අයර්ලන්තයRobbie Henshaw (1T), Joey Carbery (1C)


ඒ අනුව එළඹෙන සෙනසුරාදා දින (26) මෙරට වේලාවෙන් ප.ව. 1.30ට පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය සහ එංගලන්තය එකිනෙකා මුණගැසීමට නියමිතය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<