රග්බි අයියලාගෙන් ගේම ඉල්ලන රග්බි මල්ලිලා

0

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් අප දුටු විශේෂිතම සිදුවීමක් ලෙස සඳහන් කළ හැක්කක් ඇත. එනම් දෙවන ස්ථරයේ කණ්ඩායම්වල නැගිටීමයි. නැගිටීමක් ලෙසම සඳහන් කළ නොහැකි නම් අපි එය මෙසේ සඳහන් කරමු. “අඩුම වශයෙන් ඔවුන් ප්‍රබල කණ්ඩායම් හමුවේ පරාජය වන ලකුණු පරතරයන් විශාල ලෙස අවම වී ඇත.”

nbcsports.com – ඕල් බ්ලැක්ස් ක්‍රීඩක TJ පෙරනාරා හට අභියෝග කරන නැමීබියානු ක්‍රීඩකයන්

ටෝකියෝ හිදී පැවති එක් තරගයක මිනිත්තු 35ක් අවසන් වන විට තරගය ලකුණු 10-09ක් ලෙස කරට කර මට්ටමේ විය. ඉන් ලකුණු 09ක් ලබා සිටියේ නැමීබියාවයි. නැත්නම්, මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අඩුම ශ්‍රේණිගත කිරීමක් සහිත රටයි. ඔවුන්ගේ කණ්ඩායම ගැන කියතොත්, ඊට බැංකු නිලධාරියෙකු ද, දන්ත වෛද්‍යවරයෙකු ද, ගොවියන් කිහිප දෙනෙකු ද, අවම මට්ටමේ වෘත්තීය ක්‍රීඩකයින් කිහි පදෙනෙකු ද ඇතුළත් විය. එක් ලකුණකින් ඔවුන්ව අභිබවා සිටි ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලෝක රග්බි දැවැන්තයා, නවසීලන්තයයි.

1995 ලෝක කුසලාන තරගාවලියේ මූලික තරග වටයේ ජපානයට එරෙහි තරගයේ දී, මිනිත්තු 35ක් ඉක්බිති ලකුණු පුවරුව සටහන් වූයේ 77-03ක් ලෙසයි. ඒ වන විටත් ඕල් බ්ලැක්ස් කණ්ඩායම උත්සාහක දිනුම් එකොළහක් වාර්තා කොට තිබුණි. තරගය අවසන් වුනේ ලෝක වාර්තාවක් වූ 145-17ක ලකුණු පුවරුවකිනි.

මතුපිටින්ම පෙනෙන කාරණය නම්, ගත වූ වසර 24ක කාලය තුළ ජාත්‍යන්තර දෙවන පෙළ සහ පළමු පෙළ අතර වන පරතරය කෙමෙන් හීන වී ඇති බවයි. එය සත්‍යයක් ද?

පළමු සහ දෙවන පෙළ 

world.rugby – ලෝක රග්බි ක්‍රීඩාව පාලනය වන්නේ World Rugby යටතේය.

“ලෝක රග්බි” (World Rugby) නම් වූ ලොව රග්බි බලාධිකාරය විසින් ජාත්‍යන්තර රග්බි කණ්ඩායම දෙකොටසකට බෙදනු ලබයි. ඒ පළමු පෙළ (Tier A) සහ දෙවන පෙළ (Tier B) වශයෙනි.

පළමු පෙළට ඇතුළත් වන්නේ සික්ස් නේෂන්ස් තරගාවලියේ කණ්ඩායම්, එනම් එංගලන්තය, අයර්ලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ දකුණු අර්ධ ගෝලයේ කණ්ඩායම්, එනම් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාවයි.

ඊට ඇතුළත් නොවන, එහෙත් ලෝක කුසලාන තරගාවලිය සඳහා තේරී පත්වන අනෙකුත් ඕනෑම කණ්ඩායමක් දෙවන පෙළ කණ්ඩායමක් ලෙස හැඳින්වේ. පළමු පෙළ කණ්ඩායම් වසර පුරාම පැවැත්වෙන ටෙස්ට් තරගවලට සහභාගී වන නමුත් දෙවන පෙළ කණ්ඩායම්වලට මේ ප්‍රබලයන්ව හමුවන්නේ වසර 4න් 4ට ය. ඔවුන් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද?

BBC – සෑම වසර 4කටම පසුව දෙවන පෙළ කණ්ඩායම් පරාජය වූ ලකුණු පරතරයන්. 

BBC වෙබ් අඩවිය මඟින් පළකෙරුණු ඉහත ප්‍රස්තාරයට අනුව සෑම වසර 4ක් පාසාම දෙවන පෙළ කණ්ඩායම් පළමු පෙළ කණ්ඩායම් හමුවේ පරාජය වන ලකුණු පරතරය හීන වී තිබේ.

දෙවන පෙළ කණ්ඩායම් විසින් පළමු පෙළ කණ්ඩායම් පරාජය කළ අවස්ථා ද මංගල රග්බි ලෝක කුසලාන තරගාවලියේ සිටම (2003 හැර) ආසන්න වශයෙන් නොවෙනස්ව ඇත.

BBC – ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල කණ්ඩායම් හමුවේ දෙවන පෙළ කණ්ඩායම් ලැබූ ජයග්‍රහණ.

මේ වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී තරගවල ලකුණු පරතරය අවම වී ඇතුවා සේම ඇතැම් තරගවල ලකුණුවලින් පෙන්නුම් වනවාට වඩා තරගකාරී බවක් පැවති බව ද පිළිගත යුතුය.

මෙම තරගාවලියේ ශූරයන් වනු ඇතැයි බහුතර අපේක්ෂාව වන ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහ තරගාවලියේ කණ්ඩායම් අතුරින් ශ්‍රේණිගත කිරීම් වල පහතින්ම සිටින නැමීබියාව අතර තරගය ආරම්භ වී මිනිත්තු 35ක් ගතවන තුරුම ලකුණු 10-09 මට්ටමේ තිබුනත්, ඉන් පසුව ඕල් බ්ලැක්ස් කණ්ඩායම හිස ඔසවා ක්‍රීඩා කරන්නට විය. තරගය අවසන් වුනේ 71-09ක් ලෙසයි. එහෙත් ඉන් තරගය තුළ නැමීබියානු කණ්ඩායම දැක්වූ තරගකාරී බව ගැන කියවෙන්නේ නැත.

2015 දී ඕල් බ්ලැක්ස් කණ්ඩායම විසින් නැමීබියාව පරාජය කරනු ලැබුවේ 58-14ක් ලෙසයි. එහෙත් එහි දී නැමීබියාව පන්දුව සමඟ ධාවනය කොට තිබුණේ මීටර 57ක දුරක් පමණි. එහෙත් මේ වසරේ දී ලකුණු 62ක පරතරයකින් පරාජය වුවත්, නැමීබියාව පන්දුව සමඟ මීටර 302ක් ධාවනය කොට ඇතුවාක් මෙන්ම පන්දුව තමන් යටතේ තබා ගැනීම (Possession) අතින් ඔවුන් 46%ක කොටසක් අයත් කොටගෙන තිබුණි. තරගයේ ලකුණු පුවරුව හැරෙන්නට අනෙක් සෑම සංඛ්‍යා දත්තයක දී ම නැමීබියාව ලෝක ප්‍රබලයන් සමඟ කරට-කර සිටියේය.

මල්ලිලාගේ හපන්කම්

scrummagazine.com – 2019 ලෝක කුසලාන තරගාවලියේ පෙරළි පිට පෙරළි සිදු කරන ජපාන කණ්ඩායම.

මීට අනිවාර්යයෙන්ම එකතු කළ යුතු කණ්ඩායමක් වන්නේ ජපානයයි. 1991 දී ඔවුන් ස්කොට්ලන්තය හමුවේ පරාජය වුනේ 47-09ක් ලෙසයි. පසුව 2003 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් ස්කොට්ලන්තයට එරෙහිව පරාජය වූයේ 32-11ක් ලෙසයි. 

2004 දී තවත් තරගයකට ක්‍රීඩා කළ ජපානයට ස්කොට්ලන්තයේ ප්‍රහාරයට ලක්වන්නට සිදු වුනේ 100-08ක දැවැන්ත පරතරයකිනි. 2015 දී ද 45-10ක් ලෙස පරාජය වූ ජපානය සුපුරුදු පරිදි මූලික වටයෙන්ම ඉවතට විසි විය. එහෙත් මේ වසරේ දී ඔවුන් 28-21ක් ලෙස ස්කොට්ලන්තය පරදවා අර්ධ අවසන් පූර්ව වටයේ ඉඩකඩ වෙන්කර ගත්තේය.

එමෙන්ම අයර්ලන්තයට එරෙහිව ද තත්වය එසේමය. 1991 දී 32-16ක් ලෙස ජපානය පරාජය විය. 1995 දී ලකුණු තත්වය 50-28කි. එහෙත් මේ වසරේ දී 19-12ක් ලෙස තරගය ජය ගත් ජපන් කණ්ඩායම පළමු පෙළ – දෙවන පෙළ වෙනස වෙනස් කළේය.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම් සලකා බැලුවත් ජපානය සහ ෆීජි කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙන්නට පෙර ආජන්ටිනාවට ඉහළින් රැඳී සිටි අතර ජෝර්ජියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඉතාලියට ඉහළින් රැඳී සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දෙවන පෙළ කණ්ඩායම් සඳහා ලෝක රග්බි විසින් යුරෝ මිලියන 60ක මුදලක් වියදම් කෙරෙන අතර එය එක් එක් රට සඳහා බෙදී යන ආකාරය වෙනස් වේ.

කෙසේ වෙතත් දෙවන පෙළ කණ්ඩායම්වල හිස එසවීම ගැන රග්බි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් BBCය හමුවේ දැක්වූ අදහස් කිහිපයකට යොමු වෙමු.

එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් – “ඔබට පේනවා ඇති දෙවන පෙළ කණ්ඩායම් කායිකව ගොඩක් සූදානම් වෙලා තිබෙන බව. අපි දැනට ටොංගා සහ ඇමරිකානු කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කළා. ඔවුන් දෙපලටම විශාල සහ ශක්තිමත් ඉදිරි පෙළක් (packs) තිබුණා.”

නැමීබියානු ක්‍රීඩක යාන්කෝ වෙටර් – “ඇත්තටම අප්‍රිකාවේ ඉන්න හැම කණ්ඩායමක් එක්කම ක්‍රීඩා කරලා ලකුණු 80කින් විතර දිනනවාට වඩා, ඕල් බ්ලැක්ස්ලට එරෙහිව හැම සතියකම වුනත් ක්‍රීඩා කරන්න මම කැමතියි. අපි ඔවුන් එක්ක හැම සතියකම ක්‍රීඩා කරොත් අපි තරගකාරී වේවි. මොකද අපි ඉගෙන ගනීවි, වඩාත් හොඳ වේවි.”

රුසියානු පුහුණුකරු ලින් ජෝන්ස් – “ඒක වෙන මට්ටමක් කියනවටත් වඩා දෙවන පෙළ කණ්ඩායම්වලට ඒක වෙනම ක්‍රීඩාවක් වගේ. අපි 2011 දී සහ 2015 දී අමාරු තරගාවලි පසු කරපු උරුගුවේ සහ අනෙක් රටවල් ගැන උසස් මට්ටමේ කතා ඇහුවා. අපි තවත් හොඳ වේවි. අපට හොඳ, දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. අපි ධනාත්මකව අනාගතය දිහා බලාගෙන ඉන්නවා.”

ටොංගානු පුහුණුකරු ටෞටායි කෙෆු – “ගුණාත්මක කාලය සඳහා අපට තව හොඳ තරග අවශ්‍යයි. යම් හේතුවක් නිසා මෙහි (ලෝක කුසලාන තරගාවලිය) එන්න බැරිවුණු තවත් ක්‍රීඩකයන් ලැයිස්තුවක්ම අපට ඉන්නවා. ඉතින් ඒවා තමයි අපට තරග කරන්න උදව් කරන ලොකුම හේතු. අපි කියන්න බැරි තරමින් දියුණු වෙලා තියෙනවා.”

උරුගුවේ පුහුණුකරු එස්තෙබාන් මෙනෙසස් – “අපි ක්‍රීඩා කරන්නේ ලෝක මට්ටමේ කණ්ඩායම් එක්ක. අපි හිතන්නේ මේ වගේ ශක්තිමත් කණ්ඩායම් එක්ක ක්‍රීඩා කිරීමෙන් අපට තව ශක්තිමත් වෙන්න පුළුවන් කියලා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<