රුසියාවට සහ බෙලරුසියාවට ඔලිම්පික් සමාරම්භක උළෙල තහනම්!

2024 Paris Olympics

73
2024 Paris Olympics

එළඹෙන පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගී වීමේ අවස්ථාව රුසියානු සහ බෙලරුස් ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට අහිමි ව ගොස් තිබෙනවා.

මෙම වසරේ ජුලි මස 26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වීමට නියමිත 2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් සහිතවයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.

මෙතෙක් කල් ඔලිම්පික් සමාරම්භක උළෙල වල දී සෑම රටක ම ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සම්බන්ධ වන පෙළපාලිය වෙනුවට මෙවර ප්‍රංශයේ Seine නදියේ සැතපුම් කිහිපයක දුරක් (අයිෆල් කුළුණ වෙතට) බෝට්ටු මගින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සියල්ලන් ම ගමන් කිරීමටයි සූදානම් වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙනස් අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව රුසියානු සහ බෙලරුසියානු තරගකරුවන්ට නම් හිමි වන්නේ නැහැ. යුක්‍රේනය වෙත රුසියාවෙන් සිදු වූ මැදිහත් වීම් නිසා මෙම දෙරටෙන් මෙවර ඔලිම්පික් වෙත සහභාගී වන තරගකරුවන් ස්වාධීන තරගකරුවන් ලෙස තරගාවලියට සහභාගී වන අතර, ඔහුගේ රටවල ජාතික ධජ හෝ ජාතික ගීත මොනම මොහොතක දී හෝ කරළියට නොපැමිණෙණු ඇති.

ඔවුන් ස්වාධීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැවින් සමාරම්භක උත්සවයේ දී නියෝජිත කණ්ඩායම් රැළියට ඔවුන් සහභාගී නොවනු ඇති.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ (IOC) විධායක සාමාජිකයකු විසින් එසේ සඳහන් කර තිබුණා.

මේ අනුව සමාරම්භක උළෙලට සහභාගී වීමට වරම් නොලැබෙන මෙම ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට Seine නදිය අසබඩට වී එය නැරඹීමේ අවස්ථාව පමණක් උරුම වනු ඇති.

එමෙන්ම මෙම තරගකරුවන්ට ස්වාධීන තත්වය ලබා දෙමින් ඔලිම්පික් වෙත සම්බන්ධ කර ගැනීමේ දී ද ඔවුන් රුසියාවේ යුක්‍රේන මැදිහත් වීම පිළිබඳ කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි IOCය විසින් අවධාරණය කරන්නේ. එමෙන්ම මේ වන විට රුසියානු ජාතිකයින් 32ක් සහ බෙලරුස් ජාතිකයින් 22ක් ඔලිම්පික් වරම් හිමි කර ගෙන ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම එළඹෙන අගෝස්තු 11 වැනි දා පැවැත්වීමට නියමිත ඔලිම්පික් සමාප්ති උත්සවයට මෙම ක්‍රීඩකයින් සහභාගී කරවීම පිළිබඳව ද ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බවත් IOC විසින් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර මෙම ස්වාධීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබාගන්නා එකඳු පදක්කමක් හෝ පදක්කම් සටහනකට ඇතුළත් නොකරන බවත්, එවන් අවස්ථාවක වාදනය කිරීම සඳහා වචන රහිත තේමා වාදනයක් පමණක් සූදානම් කර ඇති බවත් දැන ගැනීමට ලැබෙනවා.

2024 ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Sky Sports ඇසුරිනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<