උණුසුම් ජයග්‍රහණයක් ලැබූ Rajasthan Royalsට දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1959

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (21) Punjab Kings සමඟ පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම නිසාවෙන් Rajasthan Royals නායක Sanju Samson හට දඩයක් පැනවීමට තරග තීරකයින් කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් IPL තරගාවලියේ බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ තරගාවලිය නැවත ආරම්භ වීමෙන් පසුව මෙම වරද සිදු වූ පළමු අවස්ථාව මෙය වන බවත්, Sanju Samson හට ඉන්දියානු රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කළ බවත් ය.

Punjab Kings සහ Rajasthan Royals අතර ඊයේ පැවති තරගය මෙවර තරගාවලිය නැවත ආරම්භ වීමෙන් පසුව පැවති උණුසුම්ම තරගය ලෙස හැඳින්විය හැකි අතර තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට Rajasthan Royals ක්‍රීඩකයන්ට හැකි වුනා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Rajasthan Royals නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් වුනා.

Rajasthan Royals වෙනුවෙන් Yashasvi Jaiswal ලකුණු 49ක් සහ Mahipal Lamror ලකුණු 43ක් රැස් කිරීමට සමත් වූ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Punjab Kings ක්‍රීඩක Arshdeep Singh කඩුලු 5ක් සහ Mohammed Shami කඩුලු 3ක් දවා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා ලකුණු 120ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට KL Rahulට සහ Mayank Agarwalට හැකි වුනා.

අවසාන පන්දුවාර කිහිපය වන විට තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය Punjab Kings කණ්ඩායමට හිමිව තිබූ අතර 19 වැනි පන්දුවාරය ලකුණු 4ක් පමණක් ලබා දෙමින් අවසන් කිරීමට Mustafizur Rahman සමත් වීම නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 4ක් පමණයි.

තරගයේ ජයග්‍රහණය පහසුවෙන් Punjab Kings ක්‍රීඩකයන්ට හිමිවන ලකුණු තිබුනත්, අවසන් පන්දුවාරය යොමු කළ 20 හැවිරිදි Kartik Tyagi කඩුලු දෙකක් සමඟ එක් ලකුණකට සිය පන්දුවාරය අවසන් කළේ නොතිබූ ජයග්‍රහණයක් සිය කණ්ඩායමට ලබා දෙමිනුයි.

එම විශිෂ්ට පන්දු යැවීම නිසාවෙන් තරගයේ වීරයා සම්මානය ද Kartik Tyagi හට හිමි වූ අතර මෙම ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු 8ක් ලබාගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට Rajasthan Royals කණ්ඩායමට හැකි වුනා.

Rajasthan Royals කණ්ඩායමේ මීළඟ තරගය Delhi Capitals ක්‍රීඩකයන් සමඟ ඉරිදා (26) පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<