HSBC Dubai 7’s යන පළමු ශ්‍රී ලංකා ආදි සිසු කණ්ඩායම

2324

ලොව ජනප්‍රිය සත් සාමාජික රග්බි තරගාවලියක් වන HSBC Dubai 7’s තරගාවලියේ ගල්ෆ් කලාපීය විවෘත අංශයෙන් පළමු වරට ශ්‍රී ලංකා ආදි සිසු රග්බි කණ්ඩායමක් තරග වදින්නට නියමිතයි. ඒ Royal Tuskers නොහොත් එමීර් රාජ්‍ය ආදි රාජකීය විදුහල් රග්බි කණ්ඩායමයි.

1970 දී ආරම්භ වූ HSBC Dubai 7’s රග්බි තරගාවලිය මැදපෙරදිග පැවැත්වෙන ක්‍රීඩා තරගාවලිවලින් දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන තරගාවලියක්.

ජාත්‍යන්තර කණ්ඩායම් ද සහභාගී වන HSBC Dubai World 7’s තරගාවලිය ලොව ප්‍රමුඛතම සත් සාමාජික රග්බි තරගාවලියක් වන අතර එහි තවත් අංශ තුනකින් තරග පැවැත්වෙනවා.

  1. Gulf men’s league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ සහ ප්‍රමුඛ කණ්ඩායම්
  2. Gulf men’s open league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ B කණ්ඩායම් (Royal Tuskers ඇතුළු)
  3. Gulf men’s social league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජීය කණ්ඩායම්

Gulf men’s open league අංශයේ දී කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතයි.

Royal Tuskers කණ්ඩායම සමන්විත වන්නේ ORUAE (Old Royalist’s in the United Arab Emirates – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ආදි රාජකීයයන්) සාමාජිකයන්ගෙනුයි. 1999 දී ආරම්භ වූ මෙම ආදි සිසු රග්බි කණ්ඩායම එකල සිටම එමීර් රාජ්‍යය තුළ ටැග් රග්බි සහ සත් සාමාජික රග්බි ක්‍රීඩා කළා.

ORUAEහි සභාපති ශිහාන් ෂෙරිෆ්, ලේකම් ශානක පෙරේරා, අනුශාසක ධනික ගමගේ එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කරන අතර රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඩයන් දිද්දෙණිය විසින්. උප නායකත්වය අර්ශාඩ් ජමාල්ඩීන් විසින් දරනවා. කණ්ඩායම් කළමනාකරු වන්නේ උත්පල රණතුංග යි.

ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන්නේ ඩුබායි හි IMM උපදේශන ආයතනයයි. HSBC Dubai 7’s තරගාවලියේ දී ඔවුන්ගේ මාධ්‍ය සහකරු ලෙස ThePapare.com කටයුතු කරනවා.

තරගාවලිය එළඹෙන දෙසැම්බර් 1, 2 සහ 3 යන දිනවල දී ඩුබායි හි Sevens stadium ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<