එංගලන්ත ක්‍රිකට් විරුවා හදිසියේ මරු සමඟ සටනකට

105

2000 දශකයේ මුල් භාගයේ දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු ලෙස නම් දැරූ රොබ් කී පසුගිය දා හදිසියේම රෝගාතුර වී රෝහල්ගත කොට තිබුණේ මොළයේ ලේ කැටියක් සිරවීමෙන් ඇති වූ ආඝාත තත්වයකට මුහුණ පෑමට සිදු වීම නිසාවෙනි.

>> මුම්බායි ඉන්ඩියන්ස් බලකොටුව කොරෝනා තුරන් කිරීමේ සටනට

රෝග ලක්ෂණ පෙන්වූ වහාම ඒ පිළිබඳව තම පවුලේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කළ ඔහු වහාම තමන් රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබා දී තිබුණේ රෝගය උත්සන්න වීමට ප්‍රථමයෙන් නිසි ප්‍රතිකාරයක් කරගැනීමේ අරමුණෙනි.

තම පෞද්ගලික Instagram ගිණුමට ඡායාරූපයක් එක්කරමින් 41 හැවිරිදි රොබ් කී සඳහන් කොට තිබුණේ ගෙවුණු සති අන්තයේ දී තමන් හට අනපේක්ෂිත රෝගාබාධයකට ගොදුරු වීමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

“කෙන්ට් සහ කැන්ටර්බරි රෝහල් ද්විත්වයේම වෛද්‍ය කාර්‍යමණ්ඩලයන් සඳහා මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින්න අවස්ථාවක් කරගන්නවා. විශේෂයන්ම චාර්ලි සහ දොස්තර බාට් දෙදෙනාගේ කැපකිරීම මම වඩාත් අගය කොට සලකනවා. දැන් නම් මට ආහාර ගන්න පොඩි අවස්ථාවක් සලසලා තියෙනවා නමුත් කිසිම දේක රහක් මට දැනෙන්නේ නැහැ. ඔක්කොටම වඩා ගන්න තියෙන බෙහෙත් පෙති ප්‍රමාණය දැක්කම මෙකේ බැරෑරුම්කම තවත් අවබෝධ වෙනවා”.

>> කොරෝනාවෙන් පස්සේ වේගපන්දු ‍යැවීම වෙනස් වේවි ද?

එංගලන්ත ජර්සිය පැලඳීමේ කලාතුරකින් හිමිවන මහඟු අවස්ථාව අත්විඳීමට තරම් භාග්‍යවන්තයෙකු වූ ඔහු එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 15ක්, එක්දින තරග 5ක් සහ එක් විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

ඔහු පිත්තෙන් දක්වා ඇති උපරිම දක්ෂතාව ලෙස වාර්තා පොත් අතර එකතු වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2004 වසරේ දී  දියත් කළ ලකුණු 221ක සුපිරි පිතිහරඹයයි.

එංගලන්ත ප්‍රාන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල දී කැපී පෙනෙන දක්ෂතා රැසක් දක්වා ඇති ඔහු 1998 වසරේ සිට 2015 දක්වා තම  ක්‍රිකට්  දිවියේ ස්වර්ණමය යුගය ගතකොට දැමුවේ ලකුණු 20,000කට ආසන්න ප්‍රමාණයක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම වසර නවයක දීර්ඝ කාලයක් පුරාවට මෙහෙයවමින් ඔහු ලබා දුන් සහයෝගයට අමතරව ස්කයි ක්‍රීඩා නාලිකාවේ ද දක්ෂ ක්‍රීඩා පුවත් වාර්තාකරුවෙකු ලෙස සේවය කළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඉමහත් ඇල්ම නිසාවෙන් ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

ඔහුගේ සමීපතමයන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ කණගාටුදායක සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහුට ඉක්මන් සුවය පතමින් සුබ පැතුම් පණිවිඩ රැසක් එක්කොට තිබෙනු අයුරු දැකගන්නට ලැබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<