අවසන් මහා තරගයෙන් ජය BMS කණ්ඩායමට

433
Red Bull Inter Campus Cricket

රටවල් රැසක විශ්ව විද්‍යාල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති රෙඩ් බුල් විශ්ව විද්‍යාල තරගාවලියේ අවසන් මහා තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි නිමාවට පත්වූයේ ව්‍යාපාර කළමණාකරන පාසල් (BMS) කණ්ඩායම ලකුණු 24ක ජයක් උරුම කරගිනිමින්.

අර්ධ අවසන් වටයේ තරග ඊයේ (10) ගාල්ලේදි පැවති අතර BMS කණ්ඩායම, ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය කඩුලු 6කින් පරාජය කරමින්ද, බංගලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාල කණ්ඩායම (ULAB) , මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය කඩුලු දෙකකින් ද පරාජයට පත්කරමින් අවසන් මහා තරගාවලියේ අසුන් වෙන්කර ගන්නා ලදි.

පසුගිය ලිපි: බංගලාදේශ් කණ්ඩායම සමඟ BMS අවසන් තරගයට

ප්‍රථමයෙන්ම BMS කණ්ඩායම පිටියට අවතීර්ණ වූයේ බංගලාදේශ් කණ්ඩායමේ අැරයුමිනුයි. අාරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ගේශාන් විමලධර්ම පන්දු 10කදි 4 පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගෙන ප්‍රථම කඩුල්ල ලෙස දැවීගියේ මෝර්සලින් මෝර්ටාසාගේ පන්දුවක් හමුවේයි.

අාරම්භක පිතිකරණයට සහය දක්වමින් ගේශාන් සමඟ එක්වු දනංජය ද සිල්වා දැවැන්ත 6 පහර 3ක් වාර්තා කරමින් BMS කණ්ඩායමේ ලකුණු පුවරුවට ලකුණු 32ක් දායාද කරන ලදි. දනංජය ද සිල්වා මෙම තරගයේදි සිය දස්කම් දැක්වු ප්‍රථම අවස්තාව මෙය වන අතර ඊට හේතුව වූයේ BMS කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද පැවැත්වෙන වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම නිසාවෙන් අාදේශක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක් වීමයි. කෙසේ නමුත් මනා පිතිකරණයක නිරත වුනු ඔහු 5වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පුවරුව 92-5ක් ලෙසින් දැක්විය.

තවද කණ්ඩායමේ අාදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට එක් වූ දසුන් ශානක විසින් ද ලකුණු 19ක් ලබා ගන්නා ලදි. ඔහුගේ ඉණිමට 4 පහර 2ක් සහ 6 පහරක් අැතුලත් විය.

ඊයේ තරගයේදි නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ ජනිත ලියනගේ හට අද දිනය ඒ තරම් සුභදායක නොවුනු අතර තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබා සිටින විට ඔහු දුවද්දි දැවී යාමකට හසු විය.

BMS කණ්ඩායමේ ලකුණු පුවරුවට අර්ධ ශතකයකින් දායකත්වය ලබා දෙමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ රනිත ලියනාරච්චි නම් ක්‍රීඩකයායි. ඔහුගේ ඉණිම වර්ණවත් 6 පහර 2කින් සහ 4 පහර 6කින් බල ගැන්වුනු අතර ඔහු විසින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 52ක්. කෙසේ නමුත් තරගයේ අවසන් කඩුල්ල ලෙස ඔහු දවා ගැනීමට මරාජ් නිලෝයි සමත් විය.

බංගලාදේශ පන්දු යවන්නන්ගේ පන්දු යැවීමෙන් BMS කණ්ඩායමේ කඩුලු 9ක් දවා ගත් අතර එහිදි අරිෆු රහ්මාන් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගන්නා ලදි. ඔහුට සහය වෙමින් මොහොමඩ් ඉස්ලාම් කඩුලු දෙකකට හිමිකම් කීමට සමත් විය.

කෙසේවෙතත් බංගලාදේශ පන්දුකරණය හමුවේ BMS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත් විය.

BMS කණ්ඩායමෙන් ලද ලකුණු 192ක ඉලක්කයත් සමඟින් පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට, අාරම්භයේදිම පරාජයක පෙර නිමිති පෙන්වමින් ඔවුන්ගේ අාරම්භක කඩුල්ල ලකුණු 0කට දවා ගැනීමට දසුන් ශානක සමත් විය.

කිසිදු බංගලාදේශ ක්‍රීඩකයෙකුට ලකුණු 40ක්වත් වාර්තා කිරීමට ඉඩනොදුන් BMS ක්‍රීඩකයෝ තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ. නමුත් BMS ක්‍රීඩකයින්ගේ පන්දුකරණය අතරින් වැඩිම ලකුණ වුනු ලකුණු 39 වාර්තා කිරීමට සමත් වූයේ එම්. ඩී. හසානුස්මන් නම් ක්‍රීඩකයායි. ඔහුගේ ඉණිමට 4 පහර 4ක් සහ 6 පහර 2ක් අැතුලත් විය. ඔහුගේ කඩුල්ල දවා ගත්තේ දනංජය ද සිල්වා විසිනි.

තරගයේ අවිශේක් මිට්‍රා හට ලකුණු 28කින් බංගලාදේශ කණ්ඩායම සවිබල ගැන්වීමට හැකි විය. මරාජ් නිලෝයි ලකුණු 20. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවීම BMS ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන්හ.

පන්දු යැවීමෙන් කොෂාන් ජයවික්‍රම ලකුණු 27කට කඩුලු 4ක් ද, චාමික කරුණාරත්න ලකුණු 17කට කඩුලු 2ක්ද, ඩෙවින් පත්මනාදන් ලකුණු 31කට එක් කඩුල්ලක්ද දවා ගන්නා ලදි.

BMS – 191/9 (20) | රනිත ලියනාරච්චි 52, දනංජය ද සිල්වා 32, දසුන් ශානක 19, ගේශාන් විමලධර්ම 17, මනෝජ් සරත්චන්ද්‍ර 14, අරිෆු රහ්මාන් 3/20, මොහොමඩ් ඉස්ලාම් 2/20, මෝර්සලින් මෝර්ටාසා 1/36.

ULAB – 167/8 (20) | එම්. ඩී. හසානුස්මන් 39, අවිශේක් මිට්‍රා 28, මරාජ් නිලෝයි 20, කොෂාන් ජයවික්‍රම 4/27, චාමික කරුණාරත්න 2/17, ඩෙවින් පත්මනාදන් 1/31.

තරගයේ වීරයා – රනිත ලියනාරච්චි

BMS ක්‍රීඩකයෝ ලකුණු 24කින් තරගය ජයග්‍රහණය කරමින් සමස්ත තරගාවලියේ ශූරතාවලියට හිමිකම් කියන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට