ජය, පරාජය මැද දෝලනය වූ 2016 වසරේ ක්‍රීඩා මතකයන්

844

2016 වසර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටිය උද්යෝගිමත් එකක් බවට පත්කළේය. විටෙක ජයත් විටෙක පරාජයත් අත්විඳි ලාංකිකයන්ට නැවුම් බලාපොරොත්තු ගෙන එමින් 2017 වසර එළඹී ඇත. 2016 වසරේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලී ඔබ පසුකළ විශේෂ ක්‍රීඩා මතකයන් ගැන ThePapare.com ගෙන එන සාරාංශයකි මේ.

ජනවාරි 03 තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට පත්වීම.

පෙබරවාරි 01 – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ග්‍රැහැම් ෆෝඩ් මහතා පත්වීම. සිංගර් සත්සාමාජික පාසල් රග්බි ශූරතාවය ලබා ගන්නට වසර 22කින් පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හැකිවිය.

පෙබරවාරි 09 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ පරාජය වීම.

පෙබරවාරි 16 ඉන්දියාවේ පැවති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් 186ක් දිනා ගැනීම.

පෙබරවාරි 17 ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත් වීම.

මාර්තු 04 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන්” ඉවතට විසිවීම.

මාර්තු 08 2016/17 වර්ෂ සඳහා අරවින්ද ද සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීම, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයට පත්වීම.

මාර්තු 15 “2016 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය” ආරම්භ වීම.

මාර්තු 27 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවීම.

අප්‍රේල් 17 ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩාවෙන් සමුගැනීම.

අප්‍රේල් 27 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස නැවතත් සනත් ජයසූරිය මහතාව නම් කිරීම.

මැයි 11 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම.

මැයි 14 අදියර දෙකකින් යුත් රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි පළිහ තරඟාවලියේ එක් අදියර බැගින් ජයගත් කණ්ඩායම් දෙකම ලකුණු 35 බැගින් ලබා ගැනීම හේතුවෙන් දෙපිලම සම ශූරයන් බවට පත්විය. ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ ප්‍රථම වරට “රූපවාහිනී තෙවන විනිසුරු” රග්බි තරඟයකට ඇතුලත් වූයේ මෙහිදීය.

මැයි 21 එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ජයන්ති කුරුඋතුම්පාල පත්වීම.

ජූනි 01 නුවන් කුලසේකර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කිරීම.

ජූනි 11 සිංගර් පාසල් රග්බි ලීගයේ ශූරතාවය ලබා ගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්වීම.

ජූනි 18 අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අයර්ලන්තයේදී පැවති එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව විසින් ජය ලැබීම.

ජූනි 21 ප්‍රථම පෙල මුළු ලකුණු 19,000 සීමාව පසුකළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වීමට කුමාර් සංගක්කාර සමත් වූයේ ගෙහාන් මෙන්ඩිස්ට පමණක් දෙවැනි වෙමිනි.

ජූලි 03 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරය තුළ සහභාගී වූ සියළු එක්දින තරඟ පරාජය වීම.

ජූලි 06 කුසල් ජනිත් පෙරේරාට එරෙහි තහනම් උත්තේජක චෝදනා සාවද්‍ය බව ඔප්පුවීමෙන් පසු, සිදුවූ අසාධාරණය වෙනුවෙන් කුසල් පෙරේරාට රු. මිලියන 35ක මුදලක් ගෙවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම.

ජූලි 13මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරඟාවලියේ ජය නැවතත් ඉසිපතන විද්‍යාලය සතු වීම.

ජූලි 27 සුපිරි ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්, ලෝක ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ඨතමයන් (ICC hall of fame) අතරට නම්කිරීම.

අගෝස්තු 05 ටෙස්ට් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලංකාවේ දෙවැන්නා බවට රංගන හේරත්ගේ නම සටහන් කිරීම.

අගෝස්තු 17 ඕස්ට්‍රේලියාවට එරෙහිව “වෝන් – මුරලි” කුසලානයේදී වාර්තාගත 3-0ක ටෙස්ට් තරඟාවලි ජයක් ලබාගන්නට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමත් වීම, එංගලන්ත 19න් පහල ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව 3-0ක එක්දින ක්‍රිකට් තරඟාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත්වීම.

අගෝස්තු 20 ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන ශාඛාව කොළඹදී විවෘත වීම.

අගෝස්තු 25 ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම.

සැප්තැම්බර් 04 ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරඟාවලිය 4-1ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවීම.

සැප්තැම්බර් 06ලකුණු 260-6ක් ලබා ශ්‍රී ලංකාව විසින් තබා තිබූ, විස්සයි විස්ස ඉනිමකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමා සතුකරගන්නට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263-3ක් ලබාගත් ඕස්ට්‍රේලියාව සමත්වීම.

සැප්තැම්බර් 14 බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝහිදී පැවති පැරාඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත,හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීම.

සැප්තැම්බර් 15 ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් කිංස්වුඩ් විද්‍යාලය 18න් පහල පාසල් රග්බි ශූරතාවය ලබා ගැනීම.

ඔක්තෝබර් 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු, ක්‍රීඩකයන් විසින් භාරගැනීම. ප්‍රථම ආසියානු ජලක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් හිමිවීම.

නොවැම්බර් 02 කුළුඳුල් “ආසියානු සහයෝගිතා කුසලාන පාපන්දු තරඟාවලියේ” ආරම්භය මෙදින සිදුවිය.

නොවැම්බර් 04 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ ආරම්භය සනිටුහන් වීම.

නොවැම්බර් 10 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම. මහා බ්‍රිතාන්‍යයේදී පැවති ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකාවට හිමිවිය.

නොවැම්බර් 27 උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය ජයගැනීම. ආසියානු හොකී සම්මේලන කුසලානයේදී ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙදින සනිටුහන් විය.

නොවැම්බර් 26 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ජය වරාය අධිකාරියටත්, ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටත් හිමිවිය.

නොවැම්බර් 30ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රිය” උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම.

දෙසැම්බර් 08 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරු ධූරයට රන්ජිත් ප්‍රනාන්දු මහතා පත්වීම.

දෙසැම්බර් 07 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟවලදී කටාන ඒකාබද්ධ සහ කොස්වාඩිය විජය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය. 22න් පහල ශූරතාවයන් සීදුව දවිසමර සහ කැෂුවල් ලයින් යන කණ්ඩායම් වලට හිමිවිය.

දෙසැම්බර් 17 ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයේ අවසානය. හැව්ලොක් කණ්ඩායම ඉදිරියෙන්.

දෙසැම්බර් 18 ජාතික බේස්බෝල් ශූරතාවලියේ ජයග්‍රහණය අපරාජිත කොළඹ ආදී රාජකීයයන් විසින් දිනාගනු ලැබිණි.

දෙසැම්බර් 20ඩයලොග් දේශීය ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී” දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන හිමිවීම.

දෙසැම්බර් 22 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කළ වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නම්කිරීම.

දෙසැම්බර් 24 ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීම.

දෙසැම්බර් 26 ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව ක්‍රීඩාකරන “බොක්සිං ඩේ ටෙස්ට් තරඟය” දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීම.

මෙවන් මතකයන් පසුකරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2016 වසර අවසන් කළේ 2017 වසරේදී තවත් ජයග්‍රහණ මෙරටට ගෙන ඒමේ අදිටනිනි. ඔවුනට සුභ පැතුම් එක්කරන ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලී ඔබ සැමට ThePapare.com වෙතින් සුභ නව වසරක පැතුම් මෙසේ එක්කරන්නෙමු.