හිටපු ඕල් බ්ලැක්ස් නායකයාට ගෞරව නාමයක්

200

දෙවන එලිසබත් මහරැජිණගේ උපන්දිනයට සමඟාමීව ප්‍රකාශයට පත්කරන ලද ගෞරව නාම ලැයිස්තුවට හිටපු නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි නායක කයිරන් රීඩ් නම් කර ඇත. ඔහුට අමතරව සාම්ප්‍රදායික හකා නර්තනයේ එනම් Kapa O Pango හි නිර්මාතෘ ලෙස සැලකෙන ඩෙරෙක් ලාර්ඩේලි ද එම ලැයිස්තුවට ඇතුලත්ව ඇත. මේ බව නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කර තිබේ. 

පසුගිය වසරේ දී පැවති රග්බි ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කයිරන් රීඩ් එම තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩාවට සමුදීමට තීරණය කළේය. එලෙස ඕල් බ්ලැක්ස් වෙතින් විශ්‍රාම ගත් 34 හැවිරිදි රීඩ්, රග්බි ක්‍රීඩාව සඳහා Officer of the New Zealand Order of Merit – ONZM හි නිලධාරියෙකු ලෙස නම් කර තිබේ.

Scrum හා Maul රග්බි පිටියෙන් ඉවත් කරන්න යයි

2008 සිට 2019 දක්වා කාලය තුළ ටෙස්ට් රග්බි තරග 127ක් ක්‍රීඩා කර ඇති රීඩ් නවසීලන්තය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටී. එම තරග අතරින් 120ක්ම ආරම්භයේ දී ම තරගයට සම්බන්ධ වූ රීඩ් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කට නායකත්වය සපයා ඇත.

කයිරන් රීඩ් අංක අට ක්‍රීඩකයා ලෙස වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයා වේ. තම ක්‍රීඩා දිවිය තුල නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතරින් රීඩ් පරාජය වී ඇත්තේ තරග 16ක් පමණි. ඒ 91%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමඟිනි. 

2013 වසරේ දී ලෝක රග්බි ක්‍රීඩකයා එනම් World Player of the Year සම්මානය දිනා ගත් කයිරන් රීඩ් 2011 හා 2015 ලෝක කුසලාන ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකි. 

නවසීලන්ත රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක මාක් රොබින්සන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. 

“නවසීලන්ත රග්බි ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් මට කයිරන්ගේ ගෞරවයට සුබ පතන්න අවශ්‍යයි. ඔහු රග්බි ක්‍රීඩාවේ සාරධර්මවල සාරාංශයක්. ක්‍රීඩකයෙකු සහ පුද්ගලයෙකු ලෙස රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල බලපෑමක් කර ඇති අතර පුද්ගලයන් සමඟින් සැබෑ සම්බන්ධතාවයක් ඇති කෙනෙක්.”

“ඔහු පිටියේ සිටින රණශූරයෙක්. ඒ වගේම එයින් ඉවත් වූ පසු මහත්මයෙක් මෙන් කටයුතු කළ අයෙක්. ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඔහු ක්‍රීඩාවට ලබා දී ඇති සෑම දෙයක් ගැනම ආඩම්බර විය හැකියි.”

මාඕරි කලාවට කළ සේවය වෙනුවෙන් ඩෙරෙක් ලාර්ඩෙලි කයිරන් රීඩ්ගේ ගෞරව නාම සහකරු ලෙස නම් කර ඇත. 

උතුරත් දකුණත් යා කෙරෙන ලෝක රග්බි අලුත්ම වැඩපිළිවෙල

නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ මාඕරි චිත්‍ර ශිල්පියෙකු වන ඔහු Kapa O Pango හකා නර්තනය රචනා කළ අතර එය 2005 දී නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගයක දී ප්‍රථම වරට එළිදක්වන ලදි.

1961 වසරේ නවසීලන්තයේ දී උපත ලැබූ ඩෙරෙක් අරානා ටෙ අහි ලාර්ඩේලි නවසීලන්තයේ කලාව හා සංස්කෘතිය සම්බන්ධ ප්‍රවීණයෙකු ලෙස හැඳින්වේ. 

වඩාත් ප්‍රසිද්ධ Ka Mate හකා නර්තනය සඳහා විකල්පයක් ලෙස හඳුන්වා දුන් Kapa O Pango හකා නර්තනය නිර්මාණය කර ඇත්තේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ සහ එරට බහු සංස්කෘතික සැකැස්ම පිළිබිඹු කිරීම සඳහා ය. 

එහි වචන හා ක්‍රියාවන් නවසීලන්තයේ/ ඔටෙයෙරෝවා සහ රිදී පර්ණාංග දේශය සමරන අතර හකා යන නම සරලව ‘කළු පැහැයෙන් යුත් කණ්ඩායම’ ලෙස පරිවර්තනය කළ හැකිය.

“ඩෙරෙක්ගේ නයිට් පදවිය සඳහා අපි සුබ පතනවා. කපා ඕ පැන්ගෝ (Kapa O Pango) යනු නවසීලන්ත ඕල් බ්ලැක්ස් උරුමයට ඇදහිය නොහැකි තරම් වැදගත් දායකත්වයක්” යැයි රොබින්සන් පැවසීය.

2013 වසරේ ලෝක ක්‍රීඩකයා සහ ද්විත්ව රග්බි ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වූ රීඩ් තම රග්බි ගමන ආරම්භ කළේ 2006 දී කැන්ටබරි වෙනුවෙන් පළාත් තරග සඳහා ක්‍රීඩා කරමිනි. 2007 දී Crusaders කණ්ඩායම සමඟ ඔහුගේ Investec Super Rugby ගමන ආරම්භ කිරීමට කයිරන් රීඩ් සමත් විය.  

කොරෝනා අභියෝගය භාර ගත් Super Rugby මෙහෙයුම දිග හැරේ

ඉන් අනතුරුව 2008 වසරේ නොවැම්බර් මාසයේ දී නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම සමඟින් එක්වීමට කයිරන් රීඩ් වාසනාවන්ත විය. 2012 දී 66 වැනි නවසීලන්ත ඕල් බ්ලැක්ස් නායකයා ලෙස කයිරන් රීඩ් පත්විය. ඒ 2012 දී රෝමයේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී ඉතාලියට එරෙහිව පළමු වරට කණ්ඩායමට නායකත්වය දුන් අවස්ථාවේ දී ය. 

2012 සිට 2016 දක්වා නවසීලන්ත ඕල් බ්ලැක්ස් නායකයා ලෙස අඛණ්ඩව තරග 19ක් ජයග්‍රහණය කිරීම කයිරන් රීඩ් බිහි කළ ලෝක වාර්තාවකි. 

මේ දක්වා කයිරන් රීඩ් ක්‍රීඩා කළ තරග අතරින් තරග 2ක දී Kapa O Pango හකා නර්තනය මෙහෙයවීමට සමත්ව ඇත. 

රීඩ් 2014 දී Crusaders කණ්ඩායම වෙනුවෙන් සිය 100 වැනි සුපිරි රග්බි තරගය ක්‍රීඩා කළ අතර 2017 දී බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ලයන්ස් පිලට එරෙහිව තෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් 100 වැනි ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<