Scrum හා Maul රග්බි පිටියෙන් ඉවත් කරන්න යයි

123

නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය ලොව පුරා ක්‍රීඩාවට කල බලපෑම මෙතෙකැයි කියා කිව නොහැක. සියලු තරග අවලංගු කළ පසුබිමක සිට ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා සියලු ආයතන මේ වන විට ඔවුන්ගේ ප්‍රබල උත්සාහය දරමින් සිටී. 

කොරෝනා වයිරසය වැඩිම බලපෑමක් කළ ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව හැඳින්විය හැක. වයිරසය පැතිර යාමත් සමඟින් ලොව පුරා සියලු රග්බි තරග වහාම අවලංගු කිරීමට තරගාවලි සංවිධායකයන්ට සිදු වූයේ එය වැඩිම අවදානමක් සහිත ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීම නිසාවෙනි. 

උතුරත් දකුණත් යා කෙරෙන ලෝක රග්බි අලුත්ම වැඩපිළිවෙල

රග්බි ක්‍රීඩාව තුල ක්‍රීඩක ස්පර්ශයන් හා වයිරසය පැතිරීමේ ක්‍රම අතිවිශාල බැවින් රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට වැඩි කාලයක් ගත වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. 

ලෝක රග්බි ක්‍රීඩාව COVID-19 වසංගතයෙන් පසුව ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ මාර්ගයක් ලෙස ලෝක රග්බි සම්මේලනය විසින් ප්‍රබල ලෙස නීතිමය වෙනස්කම් සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මේ බව ප්‍රථමයෙක් වාර්තා කළේ ටයිම්ස් පුවත්පත විසිනි. ටයිම්ස් පුවත්පතට අනුව ලෝක රග්බි සම්මේලනයෙහි නීති සමාලෝචන කණ්ඩායම විසින් ලෝක රග්බි තරග නැවත ආරම්භ කිරීම සඳහා ලොව පුරා ක්‍රීඩා සමාජ විසින් අනුවර්තනය කළ හැකි හෝ ඉවත් කළ හැකි ක්‍රීඩාවේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස Scrum අවස්ථා හා Maul අවස්ථා ඉස්මතු කර තිබේ.

වෘත්තිමය හා තරගකාරී රග්බි ක්‍රීඩාවන් අතර scrum හා maul අවස්ථා බොහෝ විට දක්නට ලැබෙන අතර එහි දී ඇති වන සමීප සම්බන්ධතාවය දැඩි අවදානම් වන අතර රග්බි සංගමය අනෙකුත් ක්‍රීඩාවලට වඩා අභියෝගයන්ට මුහුණ දී ඇත්තේ අධික බෝවන වයිරසයක් හමුවේ එය නැවත ආරම්භ කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ය.

“scrum අවස්ථා හා maul විශේෂයෙන් rolling maul අවස්ථාවල මුහුණට මුහුණ සම්බන්ධතා ඇති වීම අධික අවදානම්. අපි විශේෂයෙන් සමීපව විමසා බලන්නේ එය” යනුවෙන් නම් සඳහන් නොකළ ලෝක රග්බි සම්මේලනයේ මූලාශ්‍රයක් ටයිම්ස් පුවත්පතට පැවසීය.

දැන්, ලෝක රග්බි සම්මේලනය විසින් ක්‍රීඩකයන්ට එම සමීප සම්බන්ධතා තත්වයන් තුළ ගත කරන කාලය අවම කර ගත හැකි ක්‍රම පිළිබඳව සොයා බලමින් සිටින අතර scrum අවස්ථා අවහිර කිරීම පළමු ප්‍රධාන අදියර විය හැකිය.

ටයිම්ස් පුවත්පත කළ වාර්තාවට අනුව නිදහස් පහරකින් එනම් free kick අවස්ථාවක් මඟින් scrum අවස්ථාව ආදේශ කළ හැක. තවත් පියවරක් ලෙස mauls හා rolling mauls ක්‍රීඩාවෙන් ඉවත් කරනු ඇති අතර line out අවස්ථාවන් කිසිදු අවහිර කිරීමකින් තොරව එනම් ප්‍රතිවාදී බලපෑමකින් තොරව දිගටම සිදු වනු ඇත. 

“මෙහි අදහස වන්නේ පහළින් සිටින වෘත්තීය හා ප්‍රජා ක්‍රීඩාව සඳහා විකල්ප ලබා දීමයි. විශේෂයෙන් ඔවුන්ට පරීක්ෂණ සඳහා ප්‍රවේශය නොමැති නම් මේ අවස්ථාව ‍යොදා ගත හැකියි” මූලාශ්‍රය තවදුරටත් පැවසීය.

ක්‍රීඩාවෙන් සමීප සම්බන්ධතා තත්වයන් ඉවත් කිරීම හෝ සීමා කිරීම පිළිබඳ අදහස දැඩි විවේචනයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙම වෙනසට එක් ඉහළ පුහුණුකරුවෙකුගේ මතය දැනටමත් ප්‍රකාශ වී ඇත. ඒ එංගලන්ත පුහුණුකරු වන එඩී ජෝන්ස්ගේ මතයයි. 

2017 වසරේ දී ඉතාලි රග්බි කණ්ඩායම විසින් එංගලන්ත තරගයක දී එංගලන්ත ක්‍රීඩකයන් අවහිර කිරීම හා ruck අවස්ථාවන් සඳහා ක්‍රීඩකයන් යෙදවීම ප්‍රතික්ෂේප කළේය. 

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

එවකට එංගලන්ත පුහුණුකරු වූ එඩී ජෝන්ස් එහි දී අදහස් දැක්වූයේ ඉතාලිය ක්‍රීඩකයන් තරගකාරී ක්‍රීඩාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය තවදුරටත් රග්බි ක්‍රීඩාව නොවන බවයි.

“ඔබට ක්‍රීඩාවේ ප්‍රාථමික තරගයක් අහිමි වූ විට රග්බි ක්‍රීඩාව නතර වෙනවා” ඔහු පැවසීය. “ඉතින්, ඔබ ඔබේ ටිකට් පතට මුදල් ගෙව්වා නම්, ඔබේ මුදල් ආපසු ඉල්ලන්න” විවේචනාත්මක ලෙස එඩී ජෝන්ස් පැවසීය. 

කෙසේ වෙතත් ලෝක රග්බි සම්මේලනය විසින් මෙම නීති වෙනස සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. 

නවසීලන්ත රග්බි සම්මේලනය පසුගිය දා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් Super Rugby තරගාවලිය ජුනි 13 වැනි සෙනසුරාදා නැවත ආරම්භ වන බව සනාථ කළේය. 

නවසීලන්තය මෙලෙස ප්‍රකාශ කළ ද බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ හා ජාතික රග්බි සම්මේලන රග්බි ක්‍රීඩාව සමඟ යළිත් ඉදිරියට යාමට අරගල කරමින් සිටියි. විශේෂයෙන් යුරෝපයේ සෙසු ක්‍රීඩාවලට වඩා පසුගාමීව රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<