එකම වරද දෙවරක් කළ Rajasthan Royalsට උපරිම දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

602

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Delhi Capitals සමඟ ඊයේ (25) පැවති තරගයේ දී පන්දුවාර විස්ස නියමිත කාලය තුළ යොමු කර අවසන් නොකිරීම නිසාවෙන් Rajasthan Royals නායක Sanju Samson ඇතුළු කණ්ඩායමට දඬුවම් මුදලක් නියම කිරීමට බලධාරීන් කටයුතු කර ති​බෙනවා.

Samson මීට දින කිහිපයකට පෙර Punjab Kings සමඟ පැවති තරගයේ දී ද අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම නිසාවෙන් දඩයකට යටත් වූ අතර එම වරද නැවත වරක් සිදුවීම නිසා ඔහුට එම දඩුවමට අදාළ ඉහළම දඩය වන ඉන්දියානු රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් පැනවීමට තීරණය කර තිබුණා.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, Delhi Capitals සමඟ පැවති තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසාවෙන් Rajasthan Royals කණ්ඩායමට දඬුවම් කළ බවයි.

මෙය ඒ කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අඩු පන්දුවාර වේගයට අදාළ ආචාර ධර්ම කඩ කළ දෙවැනි අවස්ථාවයි. ඒ නිසා Rajasthan Royals නායක Sanju Samson හට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩයක් පනවනවා යැයි එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම දෙවැනි වරටත් මෙම වරද සිදුවීම නිසාවෙන් Rajasthan Royals කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයන් හට අවම දඩ මුදල වන ඉන්දීය රුපියල් ලක්ෂ හයකට හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලකට යටත් වීමට සිදුවේ.

Delhi Capitals සහ Rajasthan Royals අතර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Delhi Capitals ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals ක්‍රීඩකයන්ට කඩුලු හයක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 121ක් පමණකයි.

එම නිසාවෙන් තරගයෙන් ලකුණු 33ක් ජයග්‍රහණයක් ලබමින් මෙවර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට Delhi Capitals ක්‍රීඩකයන්ට හැකි වුනා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම නිසාවෙන් උපරිම දඬුවමකට යටත් වූ පළමු ක්‍රීඩකයා Sanju Samson නොවන අතර මීට පෙර Kolkata Knight Riders නායක Eoin Morgan හට එම උපරිම දඬුවම් මුදල නියම කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

පසුගිය 23 වැනිදා Mumbai Indians සමඟ පැවති තරගයේ දී පවත්වා ගත් අඩු පන්දුවාර වේගය නිසාවෙන් Eoin Morgan හට මෙම දඬුවම හිමි වූ අතර මෙම තරගවාරයේ දී එය සිදු වූ දෙවැනි අවස්ථාව මෙය නිසාවෙන් කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයන් හට ද වන ඉන්දීය රුපියල් ලක්ෂ හයකට හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පනවා තිබුණා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<