ලක් ක්‍රිකට් අඹරට පෑයූ තවත් විශිෂ්ටයෙක් දැයෙන් නික්ම යයි

2482

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 22වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ මිත්‍ර වෙත්තමුණි මහතා අද (20) උදෑසන අභ්‍රවප්‍රාප්ත විය.

ඒ වන විට වයස අවුරුදු 67ක් වූ මිත්‍ර වෙත්තමුණි පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ දකුණත් පිතිකරුවෙකි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ 32 වැනි ක්‍රීඩකයා බවට පත්වීමේ වාසනාව උදාකරගත් ඒ මහතා ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් ද වේ. ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන සිදත් වෙත්තමුණි හා සුනිල් වෙත්තමුණි ද 70 හා 80 දශකවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

>>Sidath Wettimuny – Sri Lanka’s 1st Test Centurion

වර්ෂ 1983 දී ශ්‍රී ලංකාව හා සත්කාරක නවසීලන්තය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ක්‍රීඩා කළේ සිදත් හා මිත්‍ර යන සහෝදරවරුන් දෙදෙනා වන අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතක සටහනකි.

ජාත්‍යන්තර ටෙස්ට් තරග දෙකක දී හා එක් එක්දින ක්‍රිකට් තරගයක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති මිත්‍ර වෙත්තමුණි 1970 දී ආනන්ද විද්‍යාල පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරන ලදි.

එතුමාගේ දේහය මේ වන විට අංක 48, එලිබෑන්ක් මාවත, කොළඹ 5 දරන ස්ථානයේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර හෙට (21) සවස 3ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී එතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

වෙත්තමුණි පවුලේ සැමට ThePapare.com අපගේ සාතීශ්‍ය සංවේගය පළ කර සිටින්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<