තවදුරටත් පාකිස්තානයෙන් Neutral Venues නැහැ!

1728

පාකිස්තාන කණ්ඩායම සත්කාරකත්වය දරන ඉදිරි තරග සංචාර කිසිවක් වෙනත් රටවල් හි මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල (Neutral Venues) නොපවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

තම දේශය (පාකිස්තානය) ඕනෑම කණ්ඩායමක් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පැවැත්වීම සඳහා ආරක්ෂාව සහිත බව පාකිස්තානය ක්‍රිකට් බලධාරියෙකු ඊයේ (24) ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

පාකිස්තානයේ ආරක්ෂක තත්වය දැන් හැම අතින්ම සාමාන්‍ය තත්වයට පත්වෙලා ඉවරයි. ඒ නිසා ජාත්‍යන්තර සංචාරවලට සත්කාරකත්වය සපයන්න අවශ්‍ය සියලුම දේ අපි සතුව තියෙන නිසා තවත් මධ්‍යස්ථ ක්‍රීඩාංගණ භාවිතා කරන්නේ නැහැ” යැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.

නවසීලන්ත කණ්ඩායම වසර 16කට පසුව පසුගිය දා පාකිස්තානයට පැමිණි නමුත් ආරක්ෂක හේතූන් මත තරගාවලිය අවලංගු කිරීමට ඔවුන් කටයුතු කළ අතර එය අනුගමනය කරමින් එංගලන්තය ද තරගාවලිය අවලංගු කිරීමට කටයුතු කළා.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම නිසාවෙන් වෙනත් රටවල් පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත පළ කර අතර ඔවුන් සත්කාරකත්වය දැරූ තරගාවලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුවා.

නමුත් පසුගිය වසර කිහිපය ඇතුළදි පාකිස්තානය නැවතත් සිය රට තුළ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සහ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා සාර්ථකව පවත්වා නිමා කිරීමට සමත් වුනා.

කෙසේ නමුත් නැවතත් මෙම කණ්ඩායම් ද්විත්වය පාකිස්තානයේ සංචාරයට අකමැත්ත පළ කිරීමෙන් පසු පාකිස්තානය වෙනත් රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කළ නමුත් පසුව ඔවුන් පළමුපෙළ දේශීය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළා.

අපි ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන සමඟ මූලික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජාතික විස්සයි විස්ස ශූරතාවයක් පැවැත්වීමට තීරණය කළා. මෙම ඉසව්ව සඳහා ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සියල්ල සහභාගී වන නිසා එය ලෝක කුසලානයට හොඳ පුහුණුවක්.

බංග්ලාදේශය දෙවැනි පෙළ කණ්ඩායමක් එවීමට සහ සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියකට සහභාගී වීමට කැමැත්ත පළ කළත්, කාලය මදිකම නිසාවෙන් මෙම දේශීය තරගාවලිය පැවැත්වීම සුදුසුයි කියා අපි තීරණය කළා” යැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරියා ප්‍රකාශ කළා.

එමෙන්ම නවසීලන්තය සහ එංගලන්තය තරගාවලිය අවලංගු කිරීමෙන් පසුව පසුබෑමට ලක්වූ පාකිස්තාන ක්‍රිකට් කෙරෙහි අනෙකුත් සියල්ලන්ම අනුකම්පාව දක්වනු දැකීම සතුටට කරුණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම දේශීය තරගාවලියෙන් පසු පාකිස්තාන කණ්ඩායම පෙර සැලසුම් කළ දිනට පෙර එක්සත් අරාබි එමීර් යවා නිරෝධායන ක්‍රියාවලීන්ට පසු එහි තත්වයට අනුගත වීමට අවස්ථාව ලබා දීමට ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාර පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් බලධාරියා ප්‍රකාශ කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතන එම රටවල් හී ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

නවසීලන්තය සහ එංගලන්තය තරග සංචාර අවලංගු කිරීමට කටයුතු කිරීමෙන් පසුව අපි පරිපූර්ණ නොමැති බව දන්නවා. නමුත් අපිට සංචාරක පාර්ශවය තෘප්තිමත් කිරීමට හැකි උපරිම ආරක්ෂක විධි විධාන සකස් කරන්න පුළුවන්. අපි ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<