පුජාරාගේ එංගලන්ත ගමන නවතියි

89

ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන විට අවලංගු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ද කල් දැමීමට සංවිධායකයන් තීරණය කළේය. 

ප්‍රේක්ෂකයන් නැතිව IPL ක්‍රීඩා කරන්න ඕස්ට්‍රේලියානු සුපිරි තරුව සූදානම්

මේ දිනවල ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ලො…

මේ හේතුවෙන් ග්ලූස්ටර්ෂයර් කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් අංක 03 ක්‍රීඩක චෙටේශ්වර් පුජාරා සමඟ ඇතිකර ගත් කෙටි කාලීන ගනුදෙනුව ද කල් ඉකුත් වීම නිසා ඉවත් වී ඇති බව සනාථ කර තිබේ. වසර 15කට පසු ප්‍රථම වතාවට පළමු කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටින ග්ලූස්ටර්ෂයර් කණ්ඩායමට දැවැන්ත බලයක් පුජාරා විසින් ලබා දීමට නියමිතව තිබිනි. එම ගිවිසුමට අනුව පුජාරා ඔවුන් වෙනුවෙන් ප්‍රාන්ත තරග හයක් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබිනි. 

කෙසේ වෙතත් පුළුල් ලෙස එංගලන්තය පුරා පැතිරෙන වෛරසයේ වර්ධන වක්‍රය සමතලා කිරීමේ උත්සාහයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සියලුම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා තරග මැයි මස 28 වනදා දක්වා අත්හිටුවා ඇත. මේ අතර සංචාරක සීමාව ද පනවා ඇති නිසාවෙන් පුජාරා ඔවුන් සමඟින් කණ්ඩායම නියෝජනය කරන ආකාරය නැරඹීමට රසිකයින්ට අවස්ථාව අහිමි වන බව ප්‍රාන්ත කණ්ඩායම නිල වශයෙන් තහවුරු කර තිබේ. 

“ඔබ දන්නා පරිදි මේ වන විට 2020 මැයි මස අවසානය දක්වා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සැලසුම් කරලා නෑ. COVID-19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වන නිසා ක්‍රිකට් නැවත ආරම්භ කිරීම විශ්වාසදායක නෑ. මේ තත්ත්වය ගිම්හානය දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්.” 

“අපගේ 150 වන සංවත්සර සමය සඳහා ශීත සෘතුවේ වැඩි කාලයක් සූදානම් වෙමින් සිටියේ. මෙම සමය ප්‍රමාද වීම සියලු කාර්ය මණ්ඩලයට, ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා සමාජයට සම්බන්ධ සියලු දෙනාගේ දැඩි බලාපොරොත්තු සුන්වීමක් බව අපි දන්නවා.” 

“අපගේ ආධාරකරුවන් පුජාරාගේ පැමිණීම සැබවින්ම බලාපොරොත්තුවෙන් සිටි බව අපි දන්නවා. 2020 තරගවාරයේ චෙට්ෂ්වර් පුජාරා ග්ලෝස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අපට දැන් අහිමි වෙලා තියෙනවා.” ග්ලූස්ටර්ෂයර් සමාජය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

>>එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩකයන් වැටුප් කප්පාදුවකට එකඟ වෙයි

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් විසින් ‘ක්‍රීඩාවට ඉතිහාසයේ ඇති ලොකුම අභියෝගය’ ලෙස කොරෝනා වෛරසය හඳුන්වා ඇත. මෙම අර්බුදය හැකිතාක් විසඳා ගැනීම සඳහා තරග අවලංගු කිරීමට හා තරගාවලි කල්දැමීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිනි. පවතින තත්ත්වය අනුව හැරිසන් විසින් එංගලන්ත ක්‍රිකට් ආයතනයට ස්ටර්ලිං පවුම් මිලියන 300ක පාඩුවක් සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙම අර්බුදය ඉක්මනින් පහව නොගියහොත් සමස්ත ප්‍රාන්ත තරගාවලියම අවලංගු කිරීමට සිදුවනු ඇත. 

යෝක්ෂයර් වැනි කණ්ඩායම් තම කාර්ය මණ්ඩලයට තාවකාලිකව නිවාඩු ලබා දීමට තීරණය කර තිබිනි. එහෙත් ග්ලූස්ටර්ෂයර් ක්‍රීඩා සමාජය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සාධාරණ, ස්ථාවර මූල්‍යමය ‍තත්වයක සිටින බවත්, වසංගතය මැයි මස 28න් ඔබ්බට විහිදී ගියත් ඔවුන්ට එතරම් බලපෑමක් සිදුනොවන බවත්ය. 

“සමාජය මේ වන විට විශිෂ්ට මූල්‍ය වර්ෂයක සිටින්නේ. අපි මෙම කාලපරිච්ඡේදයේ අභියෝග කළමනාකරණය කිරීම සඳහා හොඳින් ස්ථානගත වෙලා ඉන්නවා. සියලුම පළමු පන්තියේ ප්‍රාන්තවලට සහයෝගය දැක්වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය  කැපී පෙනෙන සේවයක් කළා. එහි සිටින කණ්ඩායමට එම සේවය පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි. මෙම අර්බුදයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය ඉතාමත් හොඳ මට්ටමක තිබුනා.”  

“අපි දැන් ක්‍රියාශීලීව වැඩ කරන කාර්ය මණ්ඩලයේ හා ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කරලා තියෙනවා. ප්‍රාන්ත පාලන ආයතනයේ හා ජාතික රජයේ මුල පිරීම්වල එකතුවක් මඟින් අප්‍රේල් සහ මැයි මාස සඳහා සැලකිය යුතු ඉතිරියක් අත්කර ගෙන තියෙනවා.” 

වසර 3ක කෝලිගේ ආධිපත්‍ය බිඳ වැටේ

පසුගිය වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සැබැවින්ම…

“මේ වාරයේ කිසිඳු ක්‍රිකට් තරගයක් නොපැවැත්වෙන නරකම අවස්ථාවක දී පවා ස්ථාවරව ඉන්න සමාජයට පුළුවන් වෙලා තියෙනවා. ශක්තිමත් මූල්‍ය තත්වයක දී අනාගතයට මුහුණ දීමටත් සමාජයට හැකි වේවි.”  යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

පුජාරා යනු කොරොන වයිරසයේ ප්‍රතිවිපාකවලට ගොදුරු වූ පළමු විදෙස් ක්‍රීඩකයා නොවේ. මීට දින දෙකකට පෙර ඕස්ට්‍රේලියාවේ මයිකල් නෙසර්ගේ ගිවිසුම අත්හිටුවීමට සරේ කණ්ඩායමට සිදුව තිබිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<