වසර 3ක කෝලිගේ ආධිපත්‍ය බිඳ වැටේ

93

පසුගිය වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සැබැවින්ම තරගකාරී එකක් වූ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරි පන්දුවාරයක් සඳහා ගිය එකම අවසන් තරගය ලෙස ඉතිහාස ගත වූ බව ඔබට මතක ඇති. 

එංගලන්තය ජයග්‍රහණය කළ එම තරගයේ ප්‍රධාන භූමිකාව හිමි වූයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් හටය. ඉන් මාස කීපයකට පසුව එංගලන්ත ඕස්ට්‍රේලියා අළුබඳුන තරගාවලියේ තුන්වැනි තරගය ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන ජයග්‍රහණයක් කරා ගෙන යාමට ද ස්ටෝක්ස් සමත් වූයේ තම දක්ෂතා නැවතත් විදහා දක්වමිනි. 

සුපිරි එංගලන්ත කඩුලු රකින්නාගේ ජර්සියට ඉහළට ඉල්ලුමක්!

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරේ හෙළමින් ශීඝ්‍රයෙන් පැතිර…

මෙම දස්කම් නිසාවෙන් විස්ඩන් සඟරාව ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස බෙන් ස්ටෝක්ස් පසුගිය දා නම් කිරීමට තීරණය කර අතර ඒ අනුව වසර 3ක් එම තනතුරේ ආධිපත්‍ය දැරූ විරාත් කෝලිගේ පාලනය අවසන් කරන්නට ස්ටෝක්ස් සමත්ව තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද 2020 විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සඟරාවේ ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයා ලෙස මේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා නම් කර තිබේ. 2005 දී මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් සමත් වූ අතර ඔහුට පසුව මෙම ගෞරවය ලැබූ පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වීමට ස්ටෝක්ස් සමත් විය. 

28 හැවිරිදි ඔහු නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානය දිනා ගත් අතර පසුව ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි අළුබඳුන ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 135ක් රැස් කරන්නට සමත් විය. එම තරග දෙකම ජයග්‍රහණය කරා ගෙන යාමේ නියමුවා බවට ඔහු පත්විය. 

“බෙන් ස්ටොක්ස් ක්‍රීඩකයෙකුගේ ජීවිත කාලයක දක්ෂතා සති කීපයක් ඇතුළත දෙවරක් දක්වන්න සමත් වුනා.” විස්ඩන් කර්තෘ ලෝරන්ස් බූත් පැවසීය. 

“පළමුව, ඔහුගේ අතිදක්ෂතා සහ වාසනාව මුසු කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එංගලන්තයේ හඹා යාම ඔහු විසින් සාර්ථක කළා. ඊට පස්සේ සුපිරි පන්දුවාරයේ ලකුණු 15ක් ලබා ගන්නත් ඔහු දායකත්වය දැක්වුවා.” 

“හෙඩින්ග්ලි හි පැවති තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ දී ඔහු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 135ක් ලබා ගනිමින් එංගලන්තයට එක් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා දීමට සමත් වුනා.”

“රතු පන්දුවට හෝ සුදු පන්දුවට එරෙහිව ඔහු සොබාදහමේ බලවේගයක් විය.” 

මෙම වසරේ ජනවාරි මාසයේ දී ස්ටොක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.

 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී සුපිරි පන්දුවාරය යැවූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් මෙම විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට නම් කර තිබේ. 

ආචර් සමඟ ඕස්ට්‍රේලියානුවන් වන පැට් කමින්ස්, මානස් ලබුශේන් සහ කාන්තා ක්‍රීඩිකා එලිස් පෙරී මෙන්ම දකුණු අප්‍රිකාවේ උපන් එසෙක්ස් කණ්ඩායමේ පිට දඟපන්දු යවන සයිමන් හාමර් ද එම ලැයිස්තුවට නම් කර තිබේ.

ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය ඉන්දීය ක්‍රීඩිකා ශ්ම්‍රිති මන්දානා වෙතින් නැවතත් ලබා ගැනීමට එලිස් පෙරී සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<