හිටපු මැරතන් ශූරයා රැක ගැනීමට යොවුන් ශූරියත් එක්වේ

120

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් හිටපු ලාංකික මැරතන් ධාවන ශූර විමලසේන පෙරේරා මහතා හට සහය දීමට නිර්මාණය කළ වැඩසටහනට ශ්‍රී ලාංකික යොවුන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් මෙන්ම “A Quint Ondaatje Foundation” හී අධ්‍යක්ෂිකාව වන ඈන් මේරි ඔන්ඩච්චි විසින් සහය ලබා දී ඇත.

ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව

1968 වසරේ මෙක්සිකෝවේ පැවති ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ප්‍රවීණ මලල ක්‍රීඩක විමලසේන මහතා මෙරට මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති වශයෙන් ද කටයුතු කළේය. එතුමා මීට වසර දෙකකට පෙර හෘද සැත්කමකට ලක්කෙරුණු අතර පසුගිය මාස කිහිපය තුළ වරින්වර ඔහු රෝගී තත්වයට පත්වීම නිසාවෙන් නැවතත් ශල්‍යකර්මයක් සිදු කළ යුතු යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ අනුව වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රාම් ක්‍රිශ් මහතාගේ ආරාධනයට අනුව මෙම වැඩසටහන සඳහා එක්වූ ඈන් මේරී ඔන්ඩච්චි විසින් විමලසේන මහතාට සය මසක් දක්වා ඖෂධ ආදිය ලබා ගැනීමට අවශ්‍ය මුදල් ඔහු වෙත පරිත්‍යාග කරන ලදි. 

එම ප්‍රතිපාදන විමලසේන මහතාට ලබාදු න් අවස්ථාව Image Courtesy: Aipsmedia.com

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඈන් මේරි ප්‍රකාශ කර සිටියේ ඔලිම්පික් නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩා විරුවෙක් සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට සහ එවැනි වීරයෙක් වෙනුවෙන් උපකාරයක් කිරීමට හැකි වීම පිළිබඳව තමා සතුටට පත්වන බව සහ මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට තම ස්තුතිය පුද කර සිටින බවයි.

“මගේ පවුලේ ඉතිහාසය දිහා බලද්දී මුතුන් මිත්තන් හැමෝම තමන්ගේ මව් රටට කුමන හෝ විදියකින් දායක වෙලා තියෙනවා කියලා මම දැන ගත්තා, මානුෂීය වශයෙන් මට හැකි පමණින් උදව් කිරීමට මට එයින් ලොකු පෙළඹවීමක් ලැබුණා, මෙම කටයුතුවල නිරත වීමෙන් සමාජය තුළ සමානාත්මක බවක් වෙනසක් ඇති කිරීම මගේ අරමුණයි. අප යන්නේ කොහෙටද කියලා තේරුම් ගන්න කලින් අප ආවේ කොහෙන්ද කියලා තේරුම් අරන් ඉන්නට ඕන” යැයි ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට 19 වැනි වියෙහි පසුවන ඈන් මේරී ඔන්ඩච්චි කැනඩාවේ උපත ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාවකි. කෙටි කාලයක් “Rhythmic Gymnastics” ඉසව්වෙන් කැනඩාව නියෝජනය කළ ඇය පසුව මෙරට නියෝජනය කරමින් තරග කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව එම ඉසව්ව නියෝජනය කළ මෙරට මුල්ම ක්‍රීඩිකාව වන ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ඇතුළු ප්‍රමුඛ පෙ‍ෙළ් තරගාවලි රැසක් නියෝජනය කිරීමට සමත් විය.

“A Quint Ondaatje” පදනම සහ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සමාජ සුබ සාධනයේ යෙදුණු දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේ දී ඔවුන් විසින් කොරෝනා මැඩලීමෙහි නිරත වන සෞඛ්‍ය අංශයේ සේවකයන්ට සහ ඉදිරිපෙළ මාධ්‍යවේදීන් හට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල ද ප්‍රදානය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<