ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව

357

2018 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී සහ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී 400m සහ 400m කඩුලු පැනීම ඉසව් දෙඅංශයෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් ජාත්‍යන්තර තලයට අවතීර්ණ වූ පසිඳු කොඩිකාර දිනෙන් දින සිය දක්ෂතා ඔපමට්ටම් කරගන්නා ක්‍රීඩකයින් අතරින් තවත් එක් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙකි.

Photo Story: අතීතය – අනාගතය යා කරන කුලවංශයන්

ලාංකීය මලල ක්‍රීඩාවේ විශිෂ්ටතම කඩුලු පැනීමේ ශූරිය වූ ශ්‍රියානි කුලවංශ වැනි විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට දායාද කෙරූ ඇතුගල්පුරයට මායිම්ව පිහිටි ඓතිහාසික පඬුවස්නුවර දී දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබූ පසිඳු තම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙනි.

එහි දී ප්‍රියන්ත කරුණාරත්න ගුරු මහතාගේ මග පෙන්වීම යටතේ සිය මලල ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔහු තම ඉසව්වන් ලෙස දුර පැනීම සහ උස පැනීම තෝරා ගනු ලබනවා. උපතින්ම ලැබූ දක්ෂතාවය නිසාවෙන් ඉතා ඉක්මනින් ක්‍රීඩාවෙන් ඉදිරියට යන ඔහු වයස අවුරුදු 10ක් වන විට පඬුවස්නුවර ජාතික පාසල වෙත යෑමට වරම් හිමි විය.

එම පාසලේ දීත් කැපී පෙනෙන දස්කම් දැක්වීමට පසිඳු සමත් වූවත් මෙරට සෑම දරුවෙකුට මෙන්ම පසිඳුට ද තම දෙමව්පියන්ගෙන් අවවාද ලැබෙන්නේ අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. කෙසේ නමුත් දිනෙන් දින වර්ධනය වන පසිඳුගේ දස්කම් දුටු ඔවුන් ද පසුව පසිඳුගේ ක්‍රීඩා කටයුතුවලට හැකි උපරිමයෙන් සහය දීමට පටන් ගනු ලබනවා.

පාසල් පිටියෙහි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඔහුට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මලල ක්‍රීඩා ආචාර්ය දමින්ද බණ්ඩාර මහතා මුණගැසෙන්නේ ඔහුගේ වාසනාවකට මෙන්ය. පසිඳුගේ ක්‍රීඩා හැකියාව ගැන මහත් ප්‍රසාදයට පත්වූ එතුමාගේ මැදිහත් වීමෙන් වයස අවුරුදු 14 දී ඔහුට කුරුණෑගල මලියදේව විද්‍යාලයට යාමට අවස්ථාව හිමි විය.

දමින්ද බණ්ඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සිය ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂයක් සටහන් කරමින් නව පාසලේ දී ඔහු මෙතෙක් කළ ඉසව් අතහැර 400m කඩුලු පැනීම තෝරා ගනු ලබනවා. එම ඉසව්ව තුළින් පාසල් මට්ටමේ දිනෙන් දින දක්ෂතා දැක්වීමට ඔහු සමත් වන්නේ පැහැදිලි අනාගතයට ඉඟි පහල කරමිනි.

සිය ප්‍රථම ජාතික තලයේ තරගාවලිය ලෙස 2014 වසරේ “Senior John Tarbet”  මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් වයස අවුරුදු 16න් පහළ 400m කඩුලු පැනීම ඉසව්ව තත්පර 54.2ක කාලයකින් නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ එම ඉසව්වට අදාළ තරගාවලි වාර්තාව ද අලුත් කරමිනි.

එතැන් පටන් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඔහු 2017 වසරේ සමස්ත ලංකා පාසල් තරගාවලියේ දී 400m කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 52.9කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගන්නේ එම ඉසව්වේ ද වාර්තාවක් පිහිටුවමිනි.

ඉන්පසුව 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී 400m කඩුලු පැනීම ඉසව්ව තත්පර 52.90කින් අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූ ඔහු 400m තරගය ද තත්පර 46.70කින් අවසන් කරමින් එහි රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වන්නේ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩාවලියට ද අසුන වෙන් කර ගනිමිනි.

ඒ අනුව සිය මුල්ම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය ලෙස 2018 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන්නට තේරි පත්වූ ඔහු එම තරගාවලියේ ඔහු සහභාගි වූ මුල්ම ඉසව්ව වූ 400m තරගය ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තත්පර 46.99 කාලයකින් අවසන් කරන්නේ රිදී පදක්කම ජයග්‍රහණය කරමිනි. 

ඉන් පසුව ඔහු සිය ප්‍රධාන ඉසව්ව වන 400m කඩුලු පැනීමේ තරගය සඳහා පැමිණෙන්නේ ජාත්‍යන්තරයේ සිය නාමය රැඳවීමේ මුල් පියවර තැබීමේ අරමුණෙනි.

තරගය ආරම්භයේ පටන්ම කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වන ඔහු තත්පර 52.56ක කාලයකින් තරගය අවසන් කරමින් ජාත්‍යන්තරයේ ලද මුල්ම රන් පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ  එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ තරගාවලි වාර්තාව පවා අලුත් කරමිනි. එයින් පසු තරගාවලියේ කැපී පෙනෙන ඉසව්වක් වූ 400X4 සහය දිවීමේ තරගයේ ආරම්භය හිමි වන්නේ ද පසිඳුටයි.

Photo Story – දිගනෙන් බිහි වූ පුංචි සෙබළිය

එම තරගයේ ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වන පසිඳු අනෙකුත් ක්‍රීඩකයන් සමඟ යම් පරතරයක් ද තබා ගනිමින් පළමුවැනියා ලෙස යෂ්ටි හුවමාරුව සිදු කරන්නට සමත් වූ අතර එම තරගයේ අරුණ දර්ශන ගෙන දුන් සුපිරි අවසානය නිසාවෙන් මිනිත්තු 3.08.23කින් තරගය නිමා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාව ද අලුත් කරමිනි.

සාර්ථක තරගාවලියකින් අනතුරුව සිය දෙවන ජාත්‍යන්තර තරගාවලිය ලෙස ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට පසිඳු සමත් වන අතර එහි දී දකුණු ආසියානු තරගාවලියේ රඳවා ගත් ශ්‍රී ලාංකික ආධිපත්‍ය රැක ගැනීමට ඔහු සමත් වන්නේ 400m ඉසව්ව තත්පර 46.96ක කාලයකින් අවසන් කරමින් රිදි පදක්කම දිනා ගත්තේ අරුණ දර්ෂණට පමණක් දෙවැනි වෙමිනි.

පසිඳු කොඩිකාර තම ක්‍රීඩා දිවියේ ජයග්‍රාහී පදක්කම් සමඟින්

නමුත් එම තරගාවලියේ තම සුපුරුදු ඉසව්ව වූ 400m කඩුලු පැනීම ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ඔහු හතරවැන්නා ලෙස තරගය නිමා කරන්නේ තම නිසැක පදක්කම් බලාපොරොත්තුවක් බොඳ කරගනිමිනි. 

තරගාවලියේ තම අවසන් ඉසව්ව ලෙස 400X4 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ඔහුට මුල් ක්‍රීඩකයාගෙන් තෙවැන්නා ලෙස යෂ්ටිය හිමි වන්නේ මද පසුබෑමක් ද සහිතවයි. එම පසුබෑමත් සහිතව තම අර්ධය ආරම්භ කළ ඔහු සටන්කාමී තරග රටාවකින් අනතුරුව පළමුවැන්නා ලෙස යෂ්ටිය හුවමාරුව සිදු කරන්නේ තම කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ද ලබා දෙමිනි.

පසිඳු ලබා දුන් පරතරය ද සමඟින් මිනිත්තු 3.08.70ක කාලයකින් ඉසව්ව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ රන් පදක්කමක් සමඟින් ආසියානු තලයේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩාව නැවතත් හිස ඔසවන බවට ඉඟි ලබා දෙමිනි.

ආසියානු මට්ටමේ ජයග්‍රහණවලින් පසුව ලෝක යොවුන් ක්‍රීඩා තරගාවලියේ (IAAF World Youth Championship) 400X4 ඉසව්ව සඳහා මෙරට කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු සුදුසුකම් ලබා ගත් අතර එහි දී ඔවුන්ට ඉසව්ව අවසන් කිරීමට හැකි වුනේ අටවැනි ස්ථානය දිනා ගනිමිනි. 

කනිෂ්ඨ මට්ටමේ ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කර දැක්වූ දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ 400X4 සහය දිවීමේ කණ්ඩායමට තේරී පත්වීමට පසිඳු සමත් වූ අතර ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව මිනිත්තු 3.02.74 කාලයක් වාර්තා කරමින් ඔවුන් ඉසව්ව අවසන් කළේ හතරවැන්නා ලෙසයි.

ඉතා සුළු කාලයකින් මගහැරී ගිය ආසියානු පදක්කම පිළිබඳව පසිඳු ThePapre.com වෙත අදහස් දැක්වුවේ මෙලෙසිනි,

මුල් අදියරවල අපේ කාලයන් බලද්දී අපට විශ්වාසයක් තිබ්බා ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. තත්පර 45.2 වගේ හොඳ කාලයකින් මට මගේ කොටස නිමා කරගන්න ලැබුනත්, ඉතා කුඩා කාලයකින් අපිට ලෝකඩ පදක්කම මග හැරුණා. ඒ වගේම 400X4 සහය දිවීමේ ශ්‍රී ලාංකික වාර්තාව අලුත් කරන්න තිබ්බ අවස්ථාව ද ඉතා කුඩා කාලයකින් අහිමි වුනා. මගේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිදුවීමත් ඒකයි

ක්‍රීඩා දිවියේ ඉතා සාර්ථක වසරකින් පසුව සිය අධ්‍යාපන කටයුතු නිසාවෙන් තාවකාලිකව ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ඔහු තීරණය කළ අතර 2019 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔහු එම කඩඉම ද ජයග්‍රහණය කරන්නට සමත් විය. 

“මා පැමිණියේ තරගය අවසන් කිරීමටයි” – ජෝන් අක්වාරි

උසස් පෙළ කඩඉම ජය ගැනීමෙන් පසුව නැවතත් මෙම වසරේ දී ක්‍රීඩා පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ඔහු පසුවූවත් පවතින වසංගත තත්වය මත තරගාවලි අවලංගු වීම නිසාවෙන් ඔහුට තවත් කාලයක් බලා සිටීමට සිදු වී ඇත. 

කෙසේ නමුත් මෙම කාලය තුල දී තම දස්කම් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුව වන ඔහු තම නිවස අසල ඇති ක්‍රීඩා පිටියෙහි දිනපතා තම පුහුණුවීම් කටයුතු සිදු කරන බව ThePapare.com අප වෙත පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය සමඟින් නුදුරේ දී ම අත්වැල් බැඳ ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවන අතර ලබන වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම ඔහුගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත.

තම ක්‍රීඩා දිවියේ නිසි රිද්මයේ සිටි ඔහු වසරක පමණ දීර්ඝ විවේකයෙන් පසුව නැවතත් දමින්ද මහතාගේ මඟ පෙන්වීම යටතේ පුහුණු වීම් කටයුතු සිදු කරමින් තම රිද්මයට පිවිසීමට උත්සහ දරන අතර මෙරට ක්‍රීඩාව නැවතත් ආරම්භ වූ වහාම ඔහු ක්‍රීඩා පිටියට පා තැබීමේ බලාපොරොත්තුවෙන් පසුවේ

තම සහජ හැකියා දිනෙන් දින ඔපමට්ටම් කරගනිමින් කැපවීම තුළින් ඉදිරියට යන පසිඳු වැනි ක්‍රීඩකයන් බිහිවන්නේ කලාතුරකිනි. මෙරට මලල ක්‍රීඩාව නැවතත් ස්වර්ණමය යුගයකට ගෙන යමින් ශ්‍රී ලාංකිය මලල ක්‍රීඩා නාමය ජාත්‍යන්තර තලයේ ඔසවා තැබීමට ඔහුට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<