තිලකරත්නටත් කොවිඩ්; ශ්‍රී ලංකාව 9 වැනිදා මැලේසියාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය

569
Hashan Tillakaratne
වමේ සිට දකුණට: වසන්ත විජේසේකර මහතා, අයි. එස්. ද සිල්වා, මොහාන් ද සිල්වා, ලසන්ත වික්‍රමසිංහ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස 09 වැනිදා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මේ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනකු ඇතුළත්. මේ වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham නුවර දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව, කෙන්යාව සහ ස්කොට්ලන්තය තරග බිමට එක් වීමට නියමිතව සිටිනවා.

තරගාවලිය සඳහා සුදුසුකම් හිමිවන්නේ ජයග්‍රාහී කණ්ඩායමට පමණක් වන අතර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ මස 18 වැනිදා සිට 24 දක්වා මැලේසියාවේ Kuala Lumpur නුවර දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාට මීට දින කිහිපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා. වයිරසය ආසාදනය වන විටත් ජෛව ආරක්‍ෂිත බුබුලක සිටි තිලකරත්න මහතා මේ වන විට ප්‍රතිකාර ලබමින් පසු වන අතර ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ හිදී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජෛව ආරක්‍ෂිත බුබුලක රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ලංකා ද සිල්වා මහතාගේ අධීක්ෂණ යටතේ මේ වන විට සිය පුහුණුවීම්වල නිරත වෙමින් සිටින්නේ හෂාන් තිලකරත්න මහතා නිරෝධායනයේ පසු වන නිසයි.

කාන්තා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ක්‍රීඩිකාවන් පෙරේදා (3) PCR පරීක්ෂණයකට පෙනී සිටි අතර සියලු පරීක්ෂණ සෘනාත්මක වී තිබෙනවා. තිලකරත්න මහතා නිරෝධායනය වෙමින් සිටිය ද ක්‍රීඩිකාවන් සමඟ නිරතුරුවම දුරකථන සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් තරගාවලියට කණ්ඩායම සූදානම් කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

අද (05) සහ අනිද්දා (07) කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙකට බෙදී පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. කාන්තා ක්‍රිකට් ශක්තිමත් කිරීමට අනුෂ්කා සංජීවනී යළි කණ්ඩායමට කැඳවා ඇති අතර එක්දින තරග ක්‍රීඩිකාවක් වන ඉමේෂා දුලානිට විවේකයක් දී තිබෙන බව ද වාර්තා වෙනවා.

ලබන 19 වැනිදා ස්කොට්ලන්තය සමඟ තරග වදින ශ්‍රී ලංකාව ජනවාරි 20 වැනිදා කෙන්යාව සමඟත්, 22 වැනිදා මැලේසියාව සමඟත් තරග වැදීමට නියමිත අතර ජනවාරි 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙසේයි,

චමරී අතපත්තු (නායිකාව), හර්ශිතා මාධවී (උප නායිකා), ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඕෂධී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනි වීරක්කොඩි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – ඉමේෂා දුලානි, සත්‍යා සංදීපනී, මධුෂිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<