ශම්මු, මිලින්ද සහ ප්‍රිමෝශ්ගෙන් සුපිරි ශතක ත්‍රිත්වයක්

1010

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 6ක් අද (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසක දී ආරම්භ විය.

ක්‍රීඩාශීලීත්වයත්, තරග උණුසුමත් මනා ලෙස කැටිවුනු අද දිනය නිමා වෙද්දී ශම්මු අශාන්, මිලින්ද සිරිවර්ධන සහ ප්‍රිමෝශ් පෙරේරා පිතිකරණයෙන් සුපිරි දක්ෂතා පෙන්වූ අතර, සුරාජ් රන්දිව් පන්දු යැවීමෙන් දිනය වර්ණවත් කළ සුපිරි ක්‍රීඩකයා බවට පත්විය.

මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 20 වැනිදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක් නම් කර ඇත.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC ක්‍රීඩා සමාජය

NCC කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගය අද ඇරඹුණේ කාසියේ වාසිය ද ඔවුන්ටම හිමිකර දෙමිනි. ඒ අනුව ප්‍රතිවාදී ටැමිල් යූනියන් පිළ පිතිකරණය සඳහා කැඳවමින් ඔවුන්ව ලකුණු 117ක් තුල දවා ගන්නට NCC පිළට හැකි විය.

අද දිනය තුල දී ම මෙම ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගිය NCC කණ්ඩායම පළමු දිනයේ අවසානය සනිටුහන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 125ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 45ක් රැස් කරද්දී මාලිංග අමරසිංහ නොදැවී ලකුණු 24ක් ලබාගෙන පිටියේ රැඳී සිටියි. තරගය B කාණ්ඩය යටතේ හෙට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 38.3): මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 2/19, චාමික කරුණාරත්න 2/19, ලහිරු කුමාර 2/21, ලසිත් ඇඹුල්දෙණිය 2/25.

NCC ක්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 125 (පන්දුවාර 35): ලහිරු උදාර 45, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 24*.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය ජය ගත් සැරසන්ස් කණ්ඩායමේ ඇරයුමට අනුව පිති අතට ගත් සිංහල ක්‍රීඩා සමාජය මේ වන විට තරගය තුල සුවිශේෂී දස්කම් දක්වමින් සිටියි. ඒ අනුව A කාණ්ඩයේ තරගයක් ලෙස අද ඇරඹුණු මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවට පත්වෙද්දී ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 380කි.

ඒ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශම්මු අශාන් ලකුණු 107ක් රැස් කළේය. මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටින මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 103යි. මීට අමතරව වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ලකුණු 83ක් රැස්කර ගත්තේය. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදීයි.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 380 (පන්දුවාර 81): ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 103*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42.

රාගම ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

B කාණ්ඩයේ තරගයක් ලෙසින් අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාගම ක්‍රිකට් සමාජය සමත් විය. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් ඔවුන් දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා සිටියි. පැය 3ක පමණ ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ කිරීම නිසා අද මෙම තරගයේ ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දුවාර 26ක් පමණි. දිනය නිමාවන විට රාගම ක්‍රිකට් සමාජයේ ප්‍රබලම බලාපොරොත්තුවක් බවට පත්ව සිටින සමින්ද ප්‍රනාන්දු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 55කි. තරගය පැවැත්වෙන්නේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීයි.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 90 (පන්දුවාර 26): සමින්ද ප්‍රනාන්දු 55*.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය

කොළඹ CCC පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරකයින් තීරණය කළේ ප්‍රතිවාදී මුවර්ස් ක්‍රීඩා සමාජයට මුලින් පන්දුවට පහර දීමට අවස්ථාව සැලසීමටයි. ඒ අනුව අද දිනය තුල දී ක්‍රියාත්මක වූ පන්දුවාර 69 තුල දී මුවර්ස් පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213ක් ලබාගෙන සාර්ථක පිතිකරණයක යෙදී සිටියි. මුවර්ස් ඉනිමේ නැංගුරම බවට පත්ව සිටින වමත් පිතිකරු ප්‍රිමෝශ් පෙරේරා මේ වන විට නොදැවී ලකුණු 104යි. තරගය පැවැත්වෙන්නේ A කාණ්ඩයේ තරගයක් ලෙසයි.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 213 (පන්දුවාර 69): ප්‍රිමෝශ් පෙරේරා 104*, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, සහන් විජේරත්න 20*.

හතුරුසිංහගේ ප්‍රථම තරගාවලිය ලබන ජනවාරියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම තරග සංචාරයේ තරග කාලසටහන පසුගිය දා අනාවරණය…

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ BRC ක්‍රීඩා සමාජය

අද කටුනායක දී ඇරඹුණු මෙම තරගයේ මුල් ඉනිම සාර්ථක කරගන්නට කාසියේ වාසිය දිනාගෙන පිතිකරණය තෝරාගත් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය. ඒ අනුව ඔවුන් දිනය නිමා වෙද්දී සියල්ලන්ම දැවී ලකුණු 293ක් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු පුවරුව මත සටහන් කළහ. එහි දී සචිත්‍ර සේරසිංහ ලකුණු 63ක් වාර්තා කරද්දී ඕෂද ප්‍රනාන්දු තම අර්ධ ශතකයට ලකුණු 3ක් මෙපිටින් දැවී ගියේය. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් කඩුලු 6ක් බිඳ දැමීය. තරගය B කාණ්ඩය යටතේ ක්‍රියාත්මක විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 87.2): සචිත්‍ර සේරසිංහ 63, ඕෂද ප්‍රනාන්දු 47, මලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දමෝදරන් 23, සුරාජ් රන්දිව් 6/90, චාමිකර එදිරිසිංහ 2/72.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය

B කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වූ තවත් තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. ඔවුන්ගේ ඇරයුමට අනුව පිතිකරණයේ යෙදීම තෝරාගත් යුධ හමුදා පිළ අද දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 197ක් රැස්කර ගන්නට සමත් වූහ.

ඒ වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ කුමාර ද සිල්වා ලකුණු 40 බැගින් රැස් කරමින් ආධාර වූහ. හෙට දිනයේ යුධ හමුදා ඉනිමේ බලාපොරොත්තුව බවට පත්ව සිටින ලියෝ ෆ්‍රැන්සිස්කෝ තවමත් කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියි. තරගය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වේ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 197 (පන්දුවාර 84): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 40*, කුමාර ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරු 2/15.

මෙම සියලුම තරග හෙට දෙවැනි දිනය වෙනුවෙන් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර එම තරග තොරතුරු ද ඔබට ThePapare.com තුලින් දැනගත හැකියි.

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<