දෙවන ස්ථානයෙන් ඉහළට යන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

558
Navy SC

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවන ස්ථානය හා ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අනුශූරයින් වූ ආරක්ෂක සේවා කණ්ඩායම් අතරින් සාර්ථකම කණ්ඩායම වන නාවික හමුදා කණ්ඩායමේ මෙවර සූදානම කෙබඳු ද?

නාවික හමුදාව කටාර් ආක්‍රමණයට සැරසෙයි

නොවැම්බර් හත්වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියට පෙර…

අතීතයෙන් බිඳක්

1961 වසරේ ආරම්භ වූ නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු කාණ්ඩයේ රග්බි ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබන්නේ 1975 දී එල්. බී නන්දසිරිගේ නායකත්වයෙනි. එතැන් සිට ආරම්භ වූ නාවික හමුදා රග්බි ගමන්මගේ ස්වර්ණමය සංධිස්ථානය සනිටුහන් වන්නේ 2013-14 තරග වාරයේ දී ය.

අවස්ථා කිහිපයක දී ම ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවත්, අවසන් මහා තරගයක් ජය ගැනීමට ඔවුන්ට 2014 වසර වන තෙක් බලා සිටීමට සිදු විය. 2014 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරමින් ක්ලිෆර්ඩ් ශූරතාව දිනූ ඔවුන් 2013-14 තරග වාරයේ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ද ජයග්‍රහණ කළේ රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙනි.

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරයේ දී ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ද අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට ඔවුන්ට සිදු විය. ඔවුන් තරග 14න් තරග පහක් පරාජය වූ අතර තරග නවයක් ජය ගැනීමට සමත් විය. නාවික හමුදා තිළිණ විජේසිංහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 189ක් රැස් කර ගනිමිනි.

අගනුවර ක්‍රීඩකයෝ උඩරට පරාජය කරමින් ශූරතාවය දිනති

ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම)..

නව තරග වාරයට සූදානම

ප්‍රවීණ පුහුණුකරු මෝතිලාල් ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ මෙවරත් නාවික හමුදා ක්‍රීඩා සමාජය අන්තර් සමාජ සටන් බිමට පිවිසෙන අතර සුපිරි ක්‍රීඩක තිළිණ වීරසිංහ හට නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නායකත්වය හිමිව තිබෙනවා.

(නව නායක තිළිණ වීරසිංහ මෙවර කණ්ඩායමේ ප්‍රධානතම අවිය වනු ඇත.)

2017-18 තරග වාරයේ දී ලී කීගල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් නාවික හමුදා කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරු වූ අතර ඔවුන්ගේ ප්‍රධානතම තුරුම්පුවක් වූ දුලන්ජන් විජේසිංහ ද මෙවර තරගාවලියට නාවික හමුදා කණ්ඩායම නියෝජනය නොකිරීම ඔවුන්ට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන රිචී ධර්මපාල හා පසුගිය තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වූ නව නායක තිළිණ වීරසිංහ හට කණ්ඩායමේ වැඩි වගකීම් පැවරෙනු ඇත.

නවක ක්‍රීඩකයින් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පසුගිය තරග වාරයේ ක්‍රීඩා කළ චතුර සෙනෙවිරත්න හා ගිහාන් පෙරේරා කණ්ඩායමට එක්වන අතර ලී කීගල්, දුලන්ජන් විජේසිංහ වැනි ක්‍රීඩකයින්ගේ හිඩැස පිරවීම ඔවුන්ගේ ප්‍රධානතම අභියෝගයයි.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරග වාරයේ දී වැඩිම උත්සාහක දිනුම් ලාභියෙකු වන මොහොමඩ් අබ්සාල් සුපුරුදු පරිදි මෙවර තරගාවලියේ දී නාවික හමුදාවේ වැදගත්ම ක්‍රීඩකයෙකු වනු ඇත. මුෂීන් ෆලීල් ශක්තිමත් ප්‍රබල ධාවනයන්ගෙන් හා ප්‍රතිවාදීන් සාර්ථක ලෙස වළක්වමින් නායකයාට අනගි සහයක් වනු ඇත.

ThePapare.com වෙත අදහස් දක්වමින් නායක තිළිණ වීරසිංහ පවසා සිටියේ පෙර වසරවලට සාපේක්ෂව මෙවර කණ්ඩායමේ සංයුතිය හා සංකලනය ඉතා හොඳ බවයි. තවදුරටත් අදහස් දැක්වූ ඔහු 2009 දී මහනුවර කණ්ඩායමේ අපරාජිත වාර්තාව නාවික හමුදාව බිඳ දැමුවාක් මෙන් මෙවරත් මහනුවර අපරාජිත වාර්තාව බිඳ දැමීම නාවික හමුදා කණ්ඩායමේ ප්‍රධානතම ඉලක්කයක් බව පැවසීය.

සුපුන් පිරිස්, ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමට එක්වූ අදිශ වීරතුංග මෙන්ම සාලිය හඳපාන්ගොඩ වැනි ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ කණ්ඩායමේ ප්‍රධාතම තුරුම්පු වනු ඇත. ජ්‍යෙෂ්ඨයින්ගේ හිඩැස පුරවමින් නවකයින් සමඟ මෙවර තරගාවලියට එක්වන නාවික හමුදා කණ්ඩායම අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල තර්ජනයක් වෙද්දී දෙවන ස්ථානයේ ශාපයෙන් මිදී පළමු ස්ථානයට පැමිණීම ඔවුන්ට ඇති ප්‍රධානතම අභියෝගය වනු ඇත.

නාවික හමුදා කණ්ඩායම 2018-19 තරග වාරයේ සිය ප්‍රථම තරගය සඳහා එළඹෙන නොවැම්බර් 12 වැනිදා පොලිස් ක්‍රීඩා සමාජය හමු වනු ඇත.

Video – PREVIEW: Navy confident of top finish DRL 2018/19

2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු, ඡායාරූප මෙන්ම සියලු තරග ද සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

නාවික හමුදාවේ සම්පූර්ණ සංචිතයට