ඇෆ්ගනිස්ථානය ලංකාවට එන්න වෙනත් පාරක් සොයයි

3449

ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් කැරළිකරුවන් අතට පත්වීම පසුගිය සතියේ දී ජාත්‍යන්තරයේ දැඩි අවධානයට යොමු වුනා. මෙම සිදුවීම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන ආකාරය පිළිබඳව ක්‍රිකට් විචාරකයන් රැසක් සිය මත පළකර තිබුණා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියක් එළඹෙන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

මෙම තරගාවලිය සඳහා තලේබාන් පාලනය යම් බාධාවක් එල්ල කරනු ඇති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා. ඒ ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් කැරළිකරුවන් සතුවීමෙන් අනතුරුව කිසිදු ගුවන්‍ යානයක් කාබුල් නුවර ගුවන්තොටුපළ වෙත නොපැමිණීම සහ ඉන් පිටතට නොයාම හේතුවෙන්. 

කෙසේ වෙතත් මේ සඳහා විසඳුමක් ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම පාකිස්තානය වෙත ගොස් ඉන් අනතුරුව ඩුබායි වෙත යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් සකස් කරමින් පවතිනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් හට පාකිස්තාන වීසා ලබා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග වෙත එරට ක්‍රිකට් ආයතනය මේ වන විට යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළා. 

ඇෆ්ගනිස්තාන බල පෙරළියෙන් අනතුරුව මෙම තරගාවලිය අවලංගු වනු ඇති බව බොහෝ දෙනා සිය මත පලකර තිබුණා. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව සැලසුම් කළ පරිදි මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබුණා. 

මෙම එක්දින තරගාවලිය මෙරට දී පැවැත්වුවද එහි සත්කාරකත්වය හිමිවන්නේ ඇෆ්ගනිස්තානයටයි. මීට පෙර තරගාවලිය ඩුබායි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙසු තරග එහි පැවැත්වීමට තීරණය කිරීම නිසා පාකිස්තාන තරගාවලිය මෙරටට ගෙන ඒමට ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබුණා.

ඩුබායි ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වීමට මීට පෙර තිබූ සැලසුම් ව්‍යර්ථ වීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. නමුත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කළ බව ESPNcricinfo වෙබ් අඩවිය මීට පෙර වාර්තා කළා.

ඇෆ්ගනිස්තාන පාකිස්තාන එක්දින තරගාවලිය සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙරටට පැමිණීමෙන් අනතුරුව දින තුනක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතයි.

මීට අමතරව ඇෆ්ගනිස්තාන 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් අග භාගයේ දී බංග්ලාදේශයේ සංචාරයක් සඳහා සහභාගී වන අතර එම තරගාවලිය ද සැලසුම් කළ පරිදි පවත්වන බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබුණා.

“ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍ය ලෙස ක්‍රිකට් ආයතනයේ කටයුතු කරගෙන යනවා. අපේ කණ්ඩායම පාකිස්තාන තරගාවලියට සූදානම් වෙමින් ඉන්නවා. මේ තරගාවලිය සැලසුම් කරපු ආකාරයටම පවත්වනවා. අපි හැකි ඉක්මනින් අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට යවන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. අපිට යම් බලපෑමක් තියෙන්නේ ගුවන්තොටුපළ කටයුතු අඩාල වීමත් එක්ක. අපි ඒකට විසඳුම් හොයමින් ඉන්නවා. කණ්ඩායම මේ වෙද්දී කාබුල් නුවර දී පුහුණුවීම් කරමින් ඉන්නවා.” 

“ඉදිරි දින හතර තුල දී කණ්ඩායම පිටත්වේවි. මේ තත්ත්වය ගැන අපි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කරලා තියෙන්නේ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා ඔවුන් මේ තරගාවලිය පවත්වන්න එකඟවීම ගැන”, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Hamid Shinwari පවසා සිටියා.

තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය පසුගිය 20 වැනිදා නම් කිරීමට සැලසුම් කර තිබුණ ද එය දින කීපයකින් ප්‍රමාද වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබුණා. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වීසා ලබාගැනීම අවිනිශ්චිත වීම නිසාවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් පසුගිය 20 වැනිදා සිට එළඹෙන 30 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා. මේ පිළිබඳව ද ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන ක්‍රිකට් ආයතන විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වනවා. 

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<