වැරදි උපදෙසක් නිසාවෙන් මඟහැරී ගිය වාර්තාගත ත්‍රිත්ව ශතකය

2230
Murali reveals Sehwag's words

ඉන්දීය පිතිකරණ වංශකථාවේ පෙරළියක් සිදු කළ පුරෝගාමී චරිතයක් ලෙස හිටපු ප්‍රහාරාත්මක ආරම්භ පිතිකරු Virender Sehwag අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක්කේ ඔහුටම ආවේණික වූ තරග රටාවකින් ප්‍රතිවාදී කණ්ඩායම් තම අණසක යටතට නතු කරගැනීමට තිබූ සුවිශේෂී හැකියාව නිසාවෙනි.

ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ දී මුබ්බායි හී පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී ඉතිහාස පොත් අලුත් කරමින් වාර්තාවක් පිහිටුවීමට තිබූ අනඟි අවස්ථාවක් Sehwag විසින් මඟහරවා ගත් ආකාරය පිළිබඳ රසබර කතාවක් පසුගිය දිනෙක හෙළිදරව් කරගෙන තිබුණේ ජාත්‍යන්තර තරග බිමේ වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ESPNCricinfo සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී ය. මුරලි සිය කතාබහට ප්‍රවිෂ්ට වී තිබුණේ මේ අයුරෙනි.

“මට මතකයි ඔහු අපිට එරෙහිව මුම්බායිවල දී පන්දුවට පහර දුන් විදිය. Sehwag ලකුණු 290ක් ලබාගෙන තිබුණ වෙලාවේ දී අනෙක් අන්තයේ ඉඳන් ඔහුට සහය ලබා දුන්නේ Rahul Dravid. දිනයේ අවසානයත් එක්කම  කඩුල්ල ආරක්ෂා කරගෙන ඊළඟ දවසේ දී ලකුණු 300 කඩඉම වෙත ළං වෙන්න කියලා Dravid ලබා දීපූ උපදෙස් පිළිපදින්න Sehwag තීරණය කළේ ඔය අතරතුර දී.”

“පහුවෙනිදා ඔහු උත්සාහ කළේම ලොකු පහරකට නොයා කෙටි ලකුණුවලින්ම 300 සීමාව පසු කරන්න. නමුත් ඔහුගේ අවාසනාවට මම යවපු පන්දුවකට මගේ අතටම උඩපන්දුවක් ලබා දීලා ආයිත් ක්‍රීඩාගාරය දෙසට ගමන් කරන්න ඔහුට සිද්ධ වුනා . ඒත් එක්කම තමයි ඔහු මට මෙහෙම දෙයක් කිව්වේ ‘ඔයාට එලව එලවා පහර නොදී අපරාදේ මම Rahul කියන දේ ඇහුවේ’.” 

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟම Sehwag හට සිය තෙවැනි ත්‍රිත්ව ශතකයේ සතුට සැමරීමට තිබූ අපූර්ව අවස්ථාව අහිමි වී ගිය නමුත්  ඔහුගේ නම ඉදිරියෙන් ලකුණු 293ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සටහන් කර ගැනීමට සමත්වීම ද එක්තරා ආකාරයකින් ඔහු ලද විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක. 

ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම  විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගෙන තිබූ ලකුණු 394ට පිළිතුරු ලෙස සාර්ථක ප්‍රතිචාරයක් ලබාදීමට සුපිරි තරු රැසකගෙන් සන්නද්ධ ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව හට හැකිව තිබුණි. 

තමන් යැවූ පන්දු පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව Sehwag පන්දුවට පහර දුන් ආකාරය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් පවසා සිටි Murali පෙන්වා දී තිබුණේ අනෙක් පන්දු යවන්නන් සමඟ සසඳමින් තමන් භාවිත කළ උපක්‍රම කල්තියා තෝරා බේරා ගැනීමේ හැකියාවක්  Sehwag තුලින් එම තරගය පුරාවටම දිස් වූ බවයි.

“මම මේ ගැන කිහිප වතාවක්ම කියලා තියෙනවා. ඔහු ඉතාමත් බිහිසුණු පිතිකරුවෙක්. Sehwag කිව්වා වුනාට මගේ පන්දු එදා දවසේ දී හරියට කියවන්න බැරි වුනා කියලා, පෞද්ගලිකව දැනුණ දේ තමයි ඔහු මොනයම් විදියකින් හරි අනෙක් පන්දු යවන්නන්ගෙන් මාව වෙන් කරගෙන තමයි උපායශීලීව පන්දුවට පහරදුන්නේ.”

“මම උත්සාහ කළේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරලා පන්දු රකින්නන් වැඩි ප්‍රමාණයක් යාර 30 සීමාව ඇතුළෙන් රඳවා ගන්න. මොකද Sehwag ඕනෑම වෙලාවක ලොකු පහරකට යන්න තියෙන අවස්ථාව නිසා ඔහු අතින් යම් අත්වැරදීමක් වෙන්න තිබුණ සම්භාවිතාවත් ගොඩක් වැඩි. නමුත් එදා දවසේ දී ඔහුගේ ආකල්පය වුනේ ‘මට පැය දෙකක් දෙන්න මම 150ක් ගහලා දෙන්නම්, දවසෙම කඩුල්ල හිටියොත් 300ක් ගහලා දෙන්නම්.’ වගේ එකක්.”

“ගොඩක් දුරට පිතිකරුවෙක් කඩඉම් ලකුණු සීමාවකට ළං වෙද්දී උත්සාහ කරන්නේ ක්‍රමයෙන් ලකුණු එක, දෙක රැස් කරගෙන අදාළ ඉලක්කය වෙත ගමන් කරන්න. නමුත් Sehwagට හැමවෙලාවම ඕන කළේ හයේ හෝ හතරේ පහරකින් තමන්ගේ ශතකය ලබාගන්න. ඒක තමයි ඇත්තටම ඔහුටම ආවේණික වුන තරග රටාව.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<