විශ්ව සහ දෙව්මිත් නිල් මහා සටන වර්ණවත් කරයි

123 වැනි රුහුණු නිල් මහා සටන

267
123 වැනි රුහුණු නිල් මහා සටන

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 123 වැනි වරටත් පැවති රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අද (26) අවසන් වුනා.

එහි දී සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ විශ්ව සුපුන් ශතකයක් ලබා ගනිමින් සහ තිසාන් දෙව්මිත් ලකුණු 86කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වූයේ සාන්ත සර්වේශස් විද්‍යාලය ජයග්‍රහණය සඳහා පන්දුවාර 7ක දී ලකුණු 67ක හඹා ගිය දෙවැනි ඉනිමේ දී පන්දුවාර 6ක් අවසානයේ අඳුරු ආලෝක තත්ත්වය යටතේ තරගය අවසන් කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටිය දී.

  • සාන්ත සර්වේශස් විද්‍යාලය: චිරාන් නෙත්තරු (නායක) චමරිඳු නෙත්සර (කඩුලු රකින්නා), චතුම් කුලසේකර, දෙනුවන් ප්‍රමෝද්, දිනුරු අබේවික්‍රමසිංහ, කුශාන් විජේරාම, මිතිල මින්සර, තරුෂ් දමිඳු, තිසාන් දෙව්මිත්, විරාන් චමුදිත, විශ්ව සුපුන්.
  • සාන්ත තෝමස් විද්‍යාලය: සෙනුර පෙරේරා (නායක) අබ්දුල් මජීඩ් (කඩුලු රකින්නා), බානුක ඉන්සමාල්, දුමිඳු සාක්ෂාර, ජිමුත් ධනික, ලෝසිත දික්සිත, මනුග යොනාල්, නවිජ ද සේරම්, ඔචින්ත චාමික, පෙසඳු සංජන, සංජු ඩිල්ශාන්.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේශස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 241ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙසින් සාන්ත සර්වේශස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 346ක දැවැන්ත ඉනිමක් ගොඩ නැගුවා. එම ඉනිමේ දී විශ්ව සුපුන් පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 100ක් වාර්තා කළා. ඔහු ශතක සබඳතාවක් සහ අර්ධ ශතක සබඳතාවක් කණ්ඩායමට එක් කිරීමට සමත් වුනා.

විශ්ව සුපුන්, චමරිඳු නෙත්සර සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 141ක සබඳතාවක් එක් කළා. එම සබඳතාව අවසන් වූයේ චමරිඳු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 79ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින්.

අනතුරුව විශ්ව සුපුන්, සිව්වැනි කඩුල්ල සඳහා දිනිරු අබේවික්‍රමසිංහ සමඟ එක් වෙමින් ලකුණු 80ක සබඳතාවක් එක් කළා.

දිනිරු අබේවික්‍රමසිංහ සහ විරාන් චමුදිත 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 70ක සබඳතාවක් එක් කළා. එහි දී විරාන් චමුදිත පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර දිනිරු අබේවික්‍රමසිංහ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ලෝෂිත ඩික්සිත්, මනුග යොනාල්, පෙසඳු සංජන සහ සෙනුර පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 105ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයන් ලකුණු 171කට සීමා කිරීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ සමත් වුනා. එහි දී තිසාන් දෙව්මිත් ලකුණු 37කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. ඊට අමතරව විරාන් චමුදිත කඩුලු 2ක් සහ චිරාන් නෙත්තරු කඩුල්ලක් දවා ගත්තා.

සාන්ත තෝමස් ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ ඔචින්ත චාමික. ඔහු පන්දු 231කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා. ඊට අමතරව පෙසඳු සංජන පන්දු 57ක දී ලකුණු 35ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක්වුනා.

පන්දු යැවීමේ දී තිසාන් දෙව්මිත් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තා.

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (111.4) ඔචින්ත චාමික 79, පෙසඳු සංජන 35, සෙනුර පෙරේරා 21, ලෝසිත ඩික්සිත් නොදැවි 25, චතුම් කුලසේකර 2/29, කුශාන් විජේරාම 2/42, තිසාන් දෙව්මිත් 4/49
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 346 (74) චමරිඳු නෙත්සර 79, විශ්ව සුපුන් 100, දිනිරු අබේවික්‍රමසිංහ 43, විරාන් චමුදිත 52, තරූෂ් සංකල්ප නොදැවි 22,
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 171 (67.3) ඔචින්ත චාමික 34, පෙසඳු සංජන 75, විරාන් චමුදිත 2/43, තිසාන් දෙව්මිත් 7/37
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 44 (6) දිනිරු අබේවික්‍රමසිංහ නොදැවි 25

තරගයේ විසඳුමක් නෑ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<