ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට IPL අහිමි වන ලකුණු

142

Kolkata Knight Riders නියෝජනය කරන ප්‍රබල ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු වන Pat Cummins ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයන් සඳහා ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට මෙතෙක් අවසර හිමිව නැහැ. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට යම් තහනමක් පැනවෙනු ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 30ක් මේ වන විට පවත්වා තිබෙනවා. ඉන්දියාව තුල පැතිර ගිය දරුණු කොරෝනා රැල්ලට නොතකමින් පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමඟ නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු වුනේ තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් සහ නිලධාරීන් කීපදෙනෙකුටම වයිරසය ආසාදනය වීම හේතුවෙන්. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පැවැත්වුවද එය බිඳවැටීම දැඩි අවධානයට යොමුව තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 31ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් තරගාවලියේ දෙවන අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සූදානම් බව පවසා සිටියා. 

ඕස්ට්‍රේලියානු පුවත්පතක් වන Sydney Morning Herald පුවත්පත Pat Cumminsගේ තීරණය පිළිබඳව පසුගිය දා විශේෂ වාර්තාවක් සපයා තිබුණා.

“Pat Cummins ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වුනේ ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් යටතේයි. එසේ වුවත් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගී නොවන බව තහවුරු කර සිටියා” එම පුවත්පත වාර්තා කළා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති නිසා සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි ප්‍රමාණය නිසා ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය පිළිබඳව ක්‍රිකට් ආයතන රැසක් ප්‍රධාන අවධානය යොමු කර තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල දීර්ඝ කාලයක් සිටීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සඳහා දැඩි බලපෑමක් ඇති කරනු ලබනවා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිය ක්‍රීඩකයන්ට විදෙස් තරගාවලි සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ප්‍රධාන හේතුව වන්නේ එයයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට එරටට පැමිණීමට පෙර මාලදිවයිනේ දී නිරෝධායනයට ලක්වීමට ද සිදු වුනා. ඒ ඉන්දීය ගුවන් යානා සඳහා තහනමක් පනවා තිබූ නිසාවෙන්.

“ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තම ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය පිළිබඳව විශාල අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුළ දීර්ඝ කාලයක් සිටීමේ බලපෑම පිළිබඳව ඔවුන් සලකා බලනවා.

මේ තත්ත්ව යටතේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම මඟින් ලෝක කුසලාන තරගාවලියට යම් බලපෑමක් ඇති වේවි දැයි සොයා බලනවා. ඔවුන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අවසර ලබා නොදීමට වැඩි ඉඩක් පවතිනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කිරීමෙන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් ප්‍රධානී Ashley Giles එංගලන්ත ක්‍රීඩකයන් තරගාවලිය සඳහා සහභාගී නොවන බව තහවුරු කර සිටියා. ඒ එම කාලය තුල එංගලන්ත කණ්ඩායම සහභාගී වන තරගාවලි කීපයක් පැවැත්වීමට නිසාවෙන්.

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ඕස්ට්‍රේලියා කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලියට පෙර තරගාවලි රැසකට සහභාගී වීමට නියමිතයි. ඒ අනුව ඔවුන් ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා සහභාගී වන අතර ඉන් අනතුරුව ඇෆ්ගනිස්තාන තරගාවලියකට සහ අළුබඳුන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

“ඕස්ට්‍රේලියාව බංග්ලාදේශ සංචාරයක් සඳහා ද අගෝස්තු මාසයේ දී සහභාගී වීමට නියමිතයි. නමුත් එය තවමත් ස්ථීර කර නැහැ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විස්සයි විස්ස තරග 5ක් සඳහා සැලසුම් කරලා තියනවා.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු ජාතිකයන් 40ක් සහභාගී වනවා. එයට ක්‍රීඩකයන්, සහය කාර්‍යමණ්ඩලය සහ විකාශකයන් ඇතුළත් වනවා.

Times of India පුවත්පත ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<