ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම් ලාභී 29 හැවිරිදි පාලිත බණ්ඩාර, 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතයි. 

එක් අතක හෝ අත් දෙකේ ම නොමැති නම් උකුලේ හෝ දණ හිසේ ආබාධිත තත්ත්වයන් වර්ගීකරණය කෙරෙන F42 කාණ්ඩය යටතේ ඔහු මේ සඳහා සුදුසුකම් ලබා සිටී. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්. 

Palitha Bandara“හෙමින් හෙමින් ආපු ලොකු ගමනක්. මුල් කාලේ පුහුණුකරුවෙක්වත් නැතිව මම, මට උවමනා විදිහට පුහුණු වෙලා ජාතික මට්ටමට ආවේ. ලොකු සතුටක් දැනෙනවා පැරාලිම්පික් යන්න ලැබීම ගැන. මුලින් ම මගේ බලාපොරොත්තුව මගේ හොඳම දක්ෂතාව වාර්තාව කරන්න. ඊට පස්සේ පදක්කමකට යන්න“, පාලිත බණ්ඩාර ThePapare.com සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා. 

මාතලේ, පල්ලේගම උපත ලද පාලිත බණ්ඩාර තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පිරිමි දරුවා. පාලිතට වැඩිමල් සහෝදරියකුත්, බාල සහෝදරයෙකුත් හිටියා. පාලිතගේ තාත්තා එච්. ජී. රත්නපාල. රස්සාවක් ලෙසින් ගොවිතැන් වැඩත්, ගල් කොරියකත් ලැබෙන විදිහට වැඩ කළා. අම්මා, දමයන්තා පොඩිමැණිකේ විදෙස්ගත ගෘහණියක් සේ කාලයක් වැඩ කළා.  

පාලිත ඉගෙන ගත්තේ මිල්ලවාන මහා විද්‍යාලයේ. පාසලේ දී දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්. දිස්ත්‍රික් මට්ටමේත් සහ පළාත් මට්ටමේත් දක්ෂතා දැක්වූ පාසල් කණ්ඩායමේ සාමාජිකයෙක්.

“පාසල් කාලයේ සිට ම මගේ කැමැත්ත තිබුණේ යුද හමුදාවට එක් වෙන්න. ගෙදරින් නම් කැමැත්තක් තිබුණේ ම නෑ. ඒ වුනත් මම 2009 අවුරුද්දේ යුද හමුදාවට බැඳෙනවා. ගෙදරට කියන්නේ නැතිව පිට වුනේ. ඒ වෙද්දී අම්මා රට හිටියේ. තාත්තත් වැඩවලට ගොඩක් වෙලාවට හිටියේ ගෙදරින් පිට. මේ නිසා මගේ ගමනට බාධා කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. මල්ලිත්, අක්කත් මොනවත් දන්නෙ නැහැ. පුහුණුවට ගියාට පස්සේ තමයි ගෙදරට දැනුම් දුන්නේ. අම්මත් තාත්තත් අපි තුන් දෙනා වෙනුවෙන් ගොඩක් දුක් මහන්සි වුනා. කොච්චර වුනත් ගෙදරට බරක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසාමයි හමුදාවට බැඳෙන්නේ.“

පාලිතගේ යුද හමුදා පුහුණුව පැවතියේ කොත්මලේ. පුහුණුවෙන් පස්සේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව හා එක්වෙමින් කිලිනොච්චි, සෙල්වනගර් යනවා. ඒක තමයි පාලිතගේ මුල්ම රාජකාරි නවාතැන.

“කෑම්ප් එකේ දී ලැබෙන විවේකයේ දී අපි වොලිබෝල් සෙල්ලම් කරනවා. මමත් ඔය කණ්ඩායම සමඟ එකතු වෙනවා. කාලයක් යද්දී මම රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායමට තේරෙනවා. අවුරුදු ගාණක් රෙජිමේන්තු කණ්ඩායමට සෙල්ලම් කරනවා.“  

ඔය අතර පාලිත නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ 2013 අවුරුද්ද. වොලිබෝල් පුහුණු වෙමින් සිටිය දී තවත් සඟයෙක් පාලිතගේ ඇඟට වැටෙනවා. මේ අනතුර කොතෙක් ද කියනවා නම් පාලිතගේ කකුල ආබාධිත බවට පත් වෙනවා. 

“අවුරුදු එකහමාරක් විතර කකුලට බෙහෙත් කරනවා. නමුත් සුවයක් ලැබුණේ නැහැ. දොස්තරවරු කිව්වේ මුකුත් කරන්න බැහැ අත්වාරුවලින් ඇවිදින්න ගන්න කියලා. දැන් ප්ලේට් එකක් දාල තියෙන්නේ.“

පාලිතගේ ජීවිතය කඩා වැටෙනවා. දෙපයින් සිට ගනිමින් ජීවිතය ගොඩ නගා ගන්න පැමිණි පාලිතට දැන් ඒ ගමන යන්න වෙන්නේ ආබාධිතයෙක් ලෙසින්. නමුත් පාලිතගේ ඉරණම ඒ ලෙසින් ලියැවිලා තියෙන්න ඇති. ඒක පාලිත තමන්ගේ හොඳට වූවක් සේ සැලකුවා. 

“අනතුර වූ අලුත මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා. ඒක ඕනම කෙනෙක්ට වෙන දෙයක් වෙන්න ඇති. ඒත් මම යුද හමුදා සෙබළෙක්. යුද හමුදා සෙබළෙක් ලෙස අනිත් අයට වඩා පෞරුෂත්වයක් තියෙනවා. ඕනම දුකක් දරා ගන්න හයියක් තියෙනවා. අධිෂ්ඨානයක් තියෙනවා. මම සිදු වූ සියල්ල අමතක කරලා අනාගතයට මුහුණ දෙන්න තීරණය කරා. ඒ හයිය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. එදා මම ඒ අනතුරින් කඩා වැටුණා නම් මම තවමත් එතැන ම තමයි.”

ඊට පසුව පාලිත කුරුණෑගල පිහිටි තම රෙජිමේන්තු මූලස්ථානයට පැමිණෙනවා. ඇවිත් ටික කාලයකින් ම එහි රෙජිමේන්තු ආබාධිත ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා.

“අපි භාරව හිටියේ ඩබ්ලිව්. ජයසේන මහතා. සර් මලල ක්‍රීඩා පුහුණුකරුවෙක්. නමුත් මගේ ආබාධිත තත්ත්වය අනුව මට කැමති ක්‍රීඩාවක් කරන්න පුළුවන් වුනේ නැහැ. යගුලිය, කවපෙත්ත ඒව තමයි තෝර ගන්න වුනේ. ඒත් ඒ ක්‍රීඩාවලට පුහුණුකරුවෙක් හිටියේ නැහැ. මම Internet එකෙන් මේ ක්‍රීඩා දෙක ගැනම සොයා බැලුවා. ඒ දිහා බලාගෙන පුහුණුවීම් කටයුතු කළා. ඒක ලේසි කටයුත්තක් වුනේ නැහැ“, පාලිත පවසනවා. 

මෙසේ පුහුණුවීම් ආරම්භ කළ පාලිත මුල් වරට තරග බිමට පිවිසෙන්නේ 2015 යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියට. එහි දී පාලිත යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් 8 වැනි ස්ථානය ලබා ගන්නවා.  

“ඇත්තට ම ඒක මට ලොකු දෙයක් වුනා. මොකද මට පුහුණුකරුවෙක් හිටියේ නැහැ. මම යගුලිය විසි කිරීම ගැන දැන ගත්තේ Internet එකෙන්. සමහරු නම් කිව්වා පිස්සු වැඩ අතහැරලා වෙනත් ඉසව්වක් තෝර ගන්න කියලා. ඒත් මම ආරම්භ කළ දේ අතරමඟ දමල ගහලා ගියේ නැහැ. තව තවත් විස්තර සොයමින්, තනියම පුහුණුවීම් කළා. තරගවලට සහභාගී වුනා.“

Palitha Bandaraමේ උත්සාහය සඵල කර ගන්න පාලිත ඊළඟ අවුරුද්දේ ම සමත් වෙනවා. ඒ 2016 ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වේ තෙවැනි ස්ථානය ලබා ගනිමින්. අනතුරුව එම වසරේ ම පැවති යුද හමුදා පැරා මලල ක්‍රීඩා උළෙලේ දී යගුලිය විසි කිරීමට අමතර ව කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ද රන් පදක්කම් දිනා ගැනීමට පාලිතට හැකි වෙනවා. 

“යුද හමුදා සෙබළෙක් ලෙස මා තුළ තිබූ පෞරුෂත්වය ගැන මම ආඩම්බර වෙනවා. ඒ වෙද්දීත් මට යගුලිය හෝ කවපෙත්ත විසි කිරීම ගැන කියල දෙන්න කවුරුත් හිටියේ නැහැ. මේ අතර මට 2017 අවුරුද්දේ අනුරාධපුරේ යන්න වෙනවා. එහේ දී අනුර කුමාර සර් හමුවෙනවා. සර් මලල ක්‍රීඩා පුහුණුකරුවෙක්. නමුත් මම සර් ළඟ මාස 2ක් පමණ ඉන්නවා. මාස 2ක් විතර යද්දී මට නැවත කුරුණෑගල එන්න වෙනවා. නැවතත් මට පුහුණුකරුවෙක් නැතිව පුහුණු වෙන්න වෙනවා.“

ඉන් අනතුරුව එළඹෙන්නේ අතිශය තීරණාත්මක තරග සමයක්. 2018 ආසියාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා තෝරා ගැනීම් තරගාවලියට පසුබිම සැකසී තිබුණා. පාලිතට මේ තරගාවලියටත් සහභාගී වෙන්න සිදු වුනේ පුහුණුකරුවෙක් නොමැතිව. 

Palitha Bandaraඒ තීරණාත්මක තරගාවලියේ දී පාලිත මීටර් 11.8ක දක්ෂතාවක් දක්වමින් යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් පළමුවැනියා වෙමින් ආසියාතික පැරා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඉන් අනතුරුව එම වසරේ ම පැවති යුද හමුදා පැරා ක්‍රීඩා උලෙළේ දී කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 40.30ක දක්ෂතා දක්වමින් ද, යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 12.8ක දක්ෂතා දක්වමින් රන් පදක්කම් දිනා ගන්නවා. 

ඊට අමතර ව ඔහු හෙල්ල වීසි කිරීමේ ඉසව්වට ද සහභාගී වෙමින් එහි රිදී පදක්කම ද දිනා ගන්නවා. ඒ දක්ෂතාත් සමඟින් පාලිත යුද හමුදා පාරා මලල ක්‍රීඩා උළෙලේ ඒ වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වෙනවා. 

Palitha Bandara“එම දක්ෂතාවත් සමඟින් මට පැරාලිම්පික් කමිටුවෙන් කතා කරලා කිව්වා පුහුණුකරුවෙක් ලබා දෙන්නම් කොළඹ එන්න කියලා. ඒ අනුව මට ප්‍රදීප් නිශාන්ත සර් ළඟ පුහුණුව ලබන්න අවස්ථාව ලැබෙනවා. එම කාලයේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා තරගාවලියට සහභාගී වෙනවා. ඒකේ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 13.21ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගන්නවා. ඊට පස්සේ  2019 ඩුබායිවල පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 12.37ක් දක්ෂතාවක් දක්වමින් 8 වැනි ස්ථානය ලබා ගන්නවා.“

එතෙක් වූ කෙටි කාලයේ ප්‍රදීප් නිශාන්ත ළඟ පුහුණුව ලැබූ පාලිත එතැන් සිට පුහුණුකරු ලෙස තෝරා ගන්නේ ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා. ඔහු යටතේ පුහුණුව පුහුණුව ලැබූ පාලිත 2020 දෙසැම්බර් මාසයේ පැවති සුදුසුකම් ලැබීමේ තරගයක දී මීටර් 13.59ක දක්ෂතාවක් දක්වනවා. 

ඒ අනුව ඔහු ඩුබායි හි පැවති  World Para Athletics Grand Prix තරගාවලියට සහභාගී වෙමින් මීටර් 13.42ක දක්ෂතාවක් දක්මින් ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඉන් අනතුරුව ඔහු පැරාලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මීටර් 13.85ක දක්ෂතාවක් දක්වමින් ඊට සුදුසුකම් ලබා ගන්නවා.

“පුහුණුකරුවෙක්වත් නැතිව ක්‍රීඩාව ඉගෙන ගෙන මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. මම දැනට යගුලිය විසි කිරීමේ පැරා ක්‍රීඩකයන් අතරින් ලෝකයේ 6 වැනි ස්ථානයේ සිටිනවා. ඒ ආපු ගමනේ මට උදව්, උපකාර කළ ගොඩක් දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ම මගේ රෙජිමේන්තුවේ සියලුම දෙනා, ක්‍රීඩා අමාත්‍යතුමා සහ ක්‍රීඩා අමාත්‍යාංශය, පැරාලිම්පික් කමිටුව සහ පුහුණුකරුවන් ඉදිරියෙන් ම සිටිනවා.“ 

Palitha Bandaraඒ සියලු දෙනාට අමතර ව පාලිතගේ මව, පියා ඇතුළු පවුලේ සියලු දෙනා ද බිරිඳ උදයංගි කෝසලා සහ ඇයගේ පවුලේ සියලුම දෙනා ද සහ ආදරණීය දරුවන් ද තමන් සමඟ සමීපව සිටිමින් ලබා දෙන සහයෝගය ද ඔහුට විශ්වසනීය ගමනක් යන්න විශ්වාසය ලබා දී ඇති බැව් පවසනවා. 

“ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පදක්කමකට යන්න. තවමත් මේ පටන් ගැන්ම විතරයි. උපරිම කාලයක් මේ ඉසව්වෙන් මගේ මව්බිමට ගෞරවයක් ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා“, පාලිත බණ්ඩාර ස්තීර හඬකින් පැවැසුවා. 

පැරාලිම්පික් බිමේ ශ්‍රී ලාංකිය නාමය රැව් දීමට යන පාලිත බණ්ඩාරට ThePapare.com හි සුබ පැතුම්.  

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී  පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<