Home Sinhala රන් සටනේ දෙවැනි දිනයේ ජයග්‍රහණය වර්ෂාවට

රන් සටනේ දෙවැනි දිනයේ ජයග්‍රහණය වර්ෂාවට

71st Battle of the Golds

512

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වුණු 71ක් වැනි රන් සටනේ දෙවැනි දිනයේ සවස් වරුවම වර්ෂාවට සේදී යාම නිසා තරගය ජය පරාජයකින් තොරව අද (29) නිමාව දුටුවා.

ඊයේ (28) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී සුමංගල විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා සිටි අතර, අද දිනයේ දී ඔවුන්ට තවත් පන්දුවාර 33ක් පමණයි පිතිකරණයේ යෙදීමට හැකියාව ලැබුණේ.

අද ඉනිම ආරම්භ කිරීමෙන් පසු පිටියේ නොදැවී රැඳී සිටි දුරංක සිල්වා සහ සචිර ඩේමියන් විසින් සුමංගල ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර එයින් ලකුණු 50ක් ම දුරංකගේ පිත්තෙන් වාර්තා වුනා.

Photo Album – Sri Sumangala College vs Moratu Maha Vidyalaya | 71st Battle of the Golds – Awards Ceremony

ඔහු පන්දු 73ක් තුල ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. තුශාන් නිමන්තගේ පන්දුවක් හමුවේ දුරංකගේ ඉනිම නිමා වූ අතර, ඉන් පසුව සචිර ඩේමියන්ව ද දවා ගැනීමට තුශාන් විසින් සමත් වුනේ සුමංගල ඉනිමේ ලකුණු සංඛ්‍යාව 62ක් වන විට දීයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ නායක විශ්ව ලහිරු සහ කවිඳු ගයාත්‍ර විසින් දිවා ආහාරය සඳහා තරගය නතර කෙරෙන තෙක් ම නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 86ක් ලබා සිටියා.

නමුත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර, දැඩි වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කළා.

ඒ වන විට සුමංගල ඉනිමේ දැවී ගිය කඩුලු 3න් 2ක් ම තුශාන් නිමන්ත විසින් දවා ගැනීමට සමත් වී තිබූ අතර, මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 144 වඩා සුමංගල විද්‍යාලය කඩුලු 7ක් අතැතිව ලකුණු 58ක් පිටුපසින් සිටියා.

ඒ අනුව 71 වැනි රන් සටනේ වැඩි ඉඩක් අඳුරු අහසට සහ දැඩි වර්ෂාවට වෙන් කර දෙමින් තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුනා.

Upcoming
Sri Sumangala College
Moratu Maha Vidyalaya

දේශීය විද්‍යාලාන්තර ක්‍රිකට් තරග පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<