Lewis Hamilton මර්සිඩීස් හැර යයි!

Formula One 2024

780

ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන Lewis Hamilton විසින් Mercedes සමඟ තමන්ට තිබූ වසර 11කට ආසන්න ගිවිසුම නිමා කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට සමස්ත ක්‍රීඩා ලෝකයේ ම වඩාත් උණුසුම් මාතෘකාව බවට මෙම ප්‍රවෘත්තිය පත් වී ඇති අතර, මෙම වසර අග දී ඔහු මෙතෙක් කල් මර්සිඩීස් සමඟ තිබූ ගිවිසුම නිමා කරමින් තවත් දැවැන්ත සන්නාමයක් වන Ferrari සමඟින් එක් වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ දී ඔහු විසින් යුරෝ මිලියන 100ක මුදලක් සඳහා මර්සිඩීස් සමඟ තමන්ට තිබූ සිය ගිවිසුම තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කළ අතර, එහි සඳහන් වන ආකාරයට Hamiltonහට මෙම වසර අග දී අවශ්‍ය නම් සිය ගිවිසුමෙන් ඉවත් වීමට හැකියාව පවතිනවා.

ඒ අනුව මෙම වසර අග දී Ferrari සමඟ ඇති ගිවිසුම අවසන් වන Carlos Sainz වෙනුවට Hamilton විසින් Ferrari සමඟ එක් වනු ඇති. කෙසේ වෙතත් Ferrariහි අනෙක් ධාවකයා වන Charles Leclerc තවදුරටත් ඔවුන් සමඟම රැඳී සිටීමට සිය කැමැත්ත පළ කරමින් සිය ගිවිසුම යාවත්කාලීන කර තිබුණා.

2007 වසරේ දී සිය Formula One ධාවන ජීවිතය McLaren සමඟින් ආරම්භ කළ Hamilton, 2008 වසරේ දී සිය පළමු Formula One ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එවකට* Formula One ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ළාබාලතම ධාවකයා බවට පත් වීමට ද Hamilton එහි දී සමත් වුනා.

*. පසුව Sebastian Vettel විසින් එම වාර්තාව බිඳ දැමූ නමුත් තවමත් Hamilton එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

2012 වසරේ දී McLaren සමඟ තිබූ ගිවිසුමෙන් නිදහස් වූ Hamilton, 2013 වසරේ දී තවත් ලෝක ශූරයකු වූ Michael Schumacher වෙනුවට මර්සිඩීස්  සමඟින් එක් වුනා. ඉන් පසුව Hamilton විසින් මර්සිඩීස් සමඟ එක් වී 2014, 2015, 2017, 2018, 2019 සහ 2021 වසරවල දී Formula One ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්මHamiltonගේ මෙම තීරණය ක්‍රීඩා ලොව කෙතරම් පුදුමයට පත් කළ ද ඔහු පසුගිය වසරේ ESPN සමඟ පැවැත්වුණු සාකච්ඡාවක දී තමන්ට Ferrari සමඟ එක් වීමට යම් බලාපොරොත්තුවක් ඇති බවට ද ඉඟි පළ කර තිබුණා. කෙසේ වෙතත් වසර එකොළහකට ආසන්න කාලයක් තුළ ලෝක ශූරතා හයක් ජයග්‍රහණය කළ සබඳතාවක් එක් වරම නිමා වීමට යාම නිසා මෙම පුවතට ලොව පුරාම අවධානය හිමි වූ බව පැහැදිලියි.

මේ වන විට 39 හැවිරිදි වියේ පසු වන Lewis Hamilton මෙතෙක් ලොව බිහි වූ වඩාත් සාර්ථක ම මෝටර් රථ ධාවන ශූරයා ලෙස හඳුන්වා දිය හැකි නමුත් 2021 වසරෙන් පසුව එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වී නැහැ. කෙසේ වෙතත් එළඹෙන පෙබරවාරි 29 දින 2024 තරගවාරයේ පළමු F1 තරගය ලෙස බහරේන් Grand Prix ආරම්භ වීමට නියමිත අතර, එහි දී ඔහු මර්සිඩීස් සමඟ සිය අවසන් තරගවාරය ආරම්භ කරනු ඇති. එහි දී ඔහුගේ දස්කම් කෙසේ ද යන්න මෙන්ම, Ferrari සමඟ ඔහුගේ ඉදිරි අනාගතය කෙසේ වේ ද යන්නත් දෙස මුළු ලෝකයක් ම ඇසි පිය නොහෙලා බලා හිඳිනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<