ස්ටීර්ලින්, බැල්බර්නි ඇෆ්ගනිස්ථාන කුසලාන සිහිනය බොඳකරයි

236

පෝල් ස්ටීර්ලින් සහ ඇන්ඩි බැල්බර්නිගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගත් අයර්ලන්තය තරගාවලිය 2-2ක් ලෙස සම තත්වයෙන් අවසන් කරගැනීමට සමත් විය.

ප්‍රබලයින් හලා පාකිස්තානය ඕස්ට්‍රේලියාවත් සමඟ සටනට

ඕස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී..

දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය දිවා/රාත්‍රි තරගයක් ලෙස ඊයේ (10) ඩෙහරඩුන් හී රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දී පැවති අතර කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය මුලින්ම පන්දු රැකීම තෝරාගත්තේය. ඒ අනුව ඇෆ්ගන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 216ක් රැස් කළේය.

මන්දගාමී ඩෙහරඩුන් තණතීරුවේ ඇෆ්ගන් ආරම්භය එතරම් සාර්ථක නොවෙමින් පළමු පන්දුවාරයෙන්ම ප්‍රවේගකාරී පිතිකරු මොහොමඩ් ශේෂාඩ් දැවී ගිය අතර දෙවන කඩුල්ල ද ලකුණු 39ක් වන විට දැවී ගියේය.

අනතුරුව ලකුණු 50ක් වන විට 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජෝර්ජ් ඩොක්රල්, රහමට් ශාහා සහ සමියුල්ලාහා සන්වාරි එම පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දුවලින් දවා ගත්තේය.

කෙසේ වෙතත් ඒ වන විටත් පිට පිට කඩුලු වැටෙමින් අසීරු තත්ත්වයක සිටි ඇෆ්ගන් පිතිකරණ අංශය ගැටලුවෙන් මුදවා ගැනීමට දෙවන සහ සිව්වැනි කඩුලු වෙනුවෙන් පිටියට පිවිසි නායක අස්ගාර් අෆ්ගන් සහ මොහොමඩ් නබී කටයුතු කළේය. මොවුන් දෙදෙනා 36 වැනි පන්දුවාරය තෙක් ඉනිම ඇඳගෙන යමින් ලකුණු 126ක් දක්වා ඇෆ්ගන් ලකුණු පුවරුව ඔසවා තැබීය. පස්වැනි කඩුල්ල ලෙස නබී ලකුණු 40කට දැවී යන විට ඔහු එක් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කර තිබුණි.

දෝනිව විවේක ගන්නවා ඉන්දියාව, ඕස්ට්‍රේලියාවට එරෙහිව සටනට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි, ඕස්ට්‍රේලියාවට..

අනතුරුව දක්ෂ ඉනිමක් දියත් කරමින් සිටි නායක අෆ්ගන් හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 82ක් ලබා සිටිය දී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් විය. කෙසේ වෙතත් එම පාඩුවට සාධාරණයක් කරමින් පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් පිතිකරණයක නිරත වෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 35ක් රැස්කළේය.

අයර්ලන්තය වෙනුවෙන් ජෝර්ජ් ඩොක්රල් ලකුණු 46ක දී කඩුලු දෙකක් දවා ගත් අතර මැක්බ්‍රීනි, මූර්ටැග්, සිමි සිං සහ කැමරන් ඩෝව් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 217ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්තය පන්දුවාර  47යි පන්දු දෙකක් තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගනිමින් නියමිත ඉලක්කය පසුකර යාමට සමත් විය.

ඒ වෙනුවෙන් පෝල් ස්ටීර්ලින් පන්දු 88කින් ලකුණු 70ක් රැස්කළ අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර දෙකක් ඇතුළත්ය. එමෙන්ම ඩෙහරඩුන් තණ තීරුව පාරාදීසයක් කර ගත් ඇන්ඩි බැල්බර්නි අයර්ලන්ත ජයග්‍රහණයට අවැසිම ඉනිම දියත් කරමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් රැස් කළේය. මීට අමතරව අවසානය තෙක් නොදැවී කඩුල්ලේ රැඳුණු කෙවින් ඕ බ්‍රයන් හතරේ පහර 4ක් සමඟ ලකුණු 33ක් රැස්කරමින් අයර්ලන්තය ජයග්‍රහණය වෙත ගෙන ගියේය.

ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් පන්දු යැවීමෙන් ශහීර් ඛාන් කඩුලු දෙකක් සහ මුජිබූර් රහමාන්, රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබී කඩුල්ල බැගින් දවා ගත්හ.

අසේල ගුණරත්න පාකිස්තානයට

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ ඇෆ්ගනිස්ථාන නායක අස්ගාර් අෆ්ගන්ට තරගයේ වීරයා සම්මානය හිමි වූ අතර තරගාවලිය පුරාවටම පිතිකරණයෙන් සාර්ථක වූ අයර්ලන්තයේ ඇන්ඩි බැල්බර්නිට තරගාවලියේ වීරයා සම්මානය හිමි විය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 27ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන, එක් තරගයක් විසඳුමක් නොමැතිව අවසන් වී තරග දෙකක් අත්හැර දමා තිබේ.

දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ලබන මාර්තු (15) ඩෙහරඩුන් හීදි පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම: කඩුලු 6ක් දැවී 216 (50) අස්ගාර් අෆ්ගන් 82, මොහොමඩ් නබී 40, රෂීඩ් ඛාන් 35, ජෝර්ජ් ඩොක්රල් 2/46

අයර්ලන්ත කණ්ඩායම: කඩුලු 5ක් දැවී 219 (47.2) පෝල් ස්ටීර්ලින් 70, ඇන්ඩි බැල්බර්නි 68, කෙවින් ඕ බ්‍රයන් 33*, ශාහීර් ඛාන් 2/55

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<