කමිල් මිෂාරගෙන් සටන්කාමී අර්ධ ශතකයක්

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

187

පාකිස්තානු A හා ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (06) අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 102ක් රැස්කර ගනිමින් පාකිස්තාන A පළමු ඉනිමට වඩා ලකුණු 225ක් පිටුපසින් සිටිනවා.

අයහපත් ආලෝක තත්වය නිසාවෙන් ඊයේ දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 64ක් රැස්කර ඉතා අපහසු තත්වයක පසු වුනා.

අද දිනය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා අගපෙළ පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 67ක් වන විට අවසන් කඩුල්ල ලෙස දුවිඳු තිලකරත්න පිටියෙන් ඉවත් කිරීමට Arshad Iqbal සමත් වුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 327ක් ඉදිරියෙන් සිටිමිනුයි.

ලකුණු 327ක් පිටුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 30ක් වන විට ලකුණු 13ක් ලබා සිටි නිෂාන් මධුශ්ක දවා ගැනීමට Khurram Shahzadට හැකි වුනා.

ඉන්පසු පිටියට එක්වූ නිපුන් ධනංජය හට ද සාර්ථකව වීමට ඉඩක් නොදුන් Agha Salman ලකුණු 12ක් ලබා සිටි නිපුන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා A ලකුණු පුවරුව 53/2ක් බවට පත්කරමිනි.

පෙර තරගයේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය රැක ගත් කමිල් මිෂාර මෙම තරගයේ ද තෙවැනි කඩුල්ල සඳහා නායක සදීර සමරවික්‍රම සමඟ එක්ව ගොඩනැගූ සම්බන්ධතාව නිසාවෙන් දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 80ක් රැස්කර සිටියා.

දිවා ආහාරයෙන් පසුව වැඩි වේලාවක් තරගය පැවැත්වීමට වර්ෂාව නිසාවෙන් නොහැකි වූ අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳහැලුණු එම වර්ෂාව නිසාවෙන් තරගය අද දිනයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 2ක් දැවී ලකුණු 102ක් ලෙසයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කමිල් මිෂාර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය රැස්කර ගනිමින් නොදැවී ලකුණු 53ක් ලබා සිටි අතර නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 19ක් රැස්කර සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 225ක් පිටුපසින් සිටින අතර තරගයේ සිව්වැනි සහ අවසාන දිනය හෙටයි (07).

තෙවැනි දිනය අවසානයේ ලකුණු සටහන

  • පාකිස්තාන A පළමු ඉනිම – 394/10 (106): Abdullah Shafique 117, Agha Salman 103, Kamran Ghulam 45, චාමික ගුණසේකර 6/83
  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 67/10 (22.2): සුමින්ද ලක්ෂාන් 29, නිපුන් ධනංජය 17, Naseem Shah 4/25, Khurram Shahzad 3/10
  • ශ්‍රී ලංකා A දෙවැනි ඉනිම – 102/2: කමිල් මිෂාර 53*, සදීර සමරවික්‍රම 19*, Khurram Shahzad 1/32

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<