ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට ස්මිත්ට පදක්කමක්

66

හිටපු නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩකයෙකු හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඉයන් ස්මිත් හට ක්‍රිකට් ක්‍රීඩාවට කළා වූ සේවය වෙනුවෙන් Bert Sutcliffe පදක්කම පිරිනමන්නට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ උත්සවයකට සම්බන්ධ වෙමින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ ඔහුට එම පදක්කම ප්‍රදානය කර සිටියා. වෝල්ටර් හැඩ්ලි, ග්‍රැහැම් ඩෝව්ලින්, මර්ව් වොලස්, ජෝන් රීඩ්, එවන් චැට්ෆීල්ඩ් හා සර් රිචඩ් හැඩ්ලී ද එම පදක්කමෙන් පිදුම් ලබා තිබෙනවා.

අමිහිරි මතකයට අදට හරියටම වසර 13යි

1980 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැබා හිදී ඔහු සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළා. ස්මිත් 1980 වසරේ සිට ටෙස්ට් තරග 63ක් ක්‍රීඩා කර ඇති අතර නවසීලන්තය වෙනුවෙන් වසර 12ක් ක්‍රීඩා කරන්නට තරම් ඔහු වාසනාවන්ත වුනා. 

ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ විශේෂතම ඉනිම වන්නේ 1990 වසරේ ඉන්දියාවට එරෙහිව තරගයක් බේරා ගන්නට ඔහු විසින් වාර්තා කළ ලකුණු 173යි. කඩුලු රකින්නෙක් ලෙස ඔහු දවා ගැනීම් 176කට හවුල් වී ඇති අතර 1992 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට නවසීලන්තය රැගෙන යන්නට ද දායකත්වය ලබා දුන් ඔහු එක්දින තරග 98ක් ක්‍රීඩා කර තිබෙනවා.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසුව ඔහු ඉතා ප්‍රවීණ හා ජනප්‍රිය විස්තර විචාරකයෙකු බවට පත් වුනේ දශක දෙකක් පුරා ටෙස්ට් තරග 112කට සිය දායකත්වය ලබා දෙමින්. ලෝඩ්ස් පිටියේ දී පැවැත්වුණු එංගලන්තය හා නවසීලන්තය අතර 2019 ලෝක කුසලානය අවසන් මහා තරගයේ අවසන් මොහොතේ විස්තර විචාරයේ යෙදුණේ ද ඉයන් ස්මිත්.

“මම හරිම ස්තුතිවන්ත වෙනවා” පදක්කම ලබා ගනිමින් ස්මිත් පවසා සිටියා. “මේ පදක්කම මට කලින් දිනා ගත් අයත් එක්ක එකම ලැයිස්තුවකට එකතු වන්නට ලැබීම ගැන මම හරි හැඟුම්බරයි. මම හරිම ආසාවෙන් සිහිපත් කරනවා මම සර් රිචඩ් හැඩ්ලි පන්දු යවද්දී කඩුලු රැකපු කාලය, මාර්ටින් ක්‍රෝ පිතිකරණයේ යෙදෙද්දී අනෙක් පැත්තේ ඉඳන් බලන් හිටපු හැටි ඒ වගේම අනෙක් අයත් හොඳින්ම ක්‍රීඩා කරපු හැටි.”

“මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු හැම මිනිත්තුවකට මම ආදරෙයි. මැකලම් වාර්තා කළ ලකුණු 300 මගේ හදවතේ හැමදාම තියෙයි. ලෝඩ්ස් වල වාර්තා කළ ටෙස්ට් ජයග්‍රහණයන්, හෝබාර්ට් හිදී රෝස් ටේලර් වාර්තා කළ ලකුණු 290, ඊඩ්න් පාක් හිදී එංගලන්තය එක්ක වුණු සිදුවීම් සහ පසුගිය වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගය හැමදාම මගේ මතකයේ රැඳෙයි. මම මේ සම්මානය මගේ බිරිඳ ලුවීස් හට පුද කරනවා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලොව වටා සංචාරය කරද්දී වගේම මම කාර්යබහුල වෙද්දී ඇය මට හැම තිස්සෙම සහය දුන්නා.”

මේ අතර බාර්ක්ලි ද ඉයන් ස්මිත් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට සුබ පතා සිටියා. “ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ චරිතයක්. ඔබ ඔබේ ක්‍රීඩා දිවිය පුරා ඉතා ඉහළ දක්ෂතා පෙන්වූවා.”

පන්දුව පළුදු කිරීම නීතිගත කරනවා වෙනුවට ආතර්ගෙන් වෙනස් යෝජනාවක්

එම උත්සවයේ දී තවත් සම්මාන කිහිපයක් ද ප්‍රදානය කළා. වෙලින්ග්ටන් නියෝජනය කරන දෙදෙනෙක් වන සොෆී ඩෙවයින් හා ඩෙවොන් කොන්වේ කාන්තා හා පිරිමි විස්සයි විස්ස සුපර් ස්මෑෂ් හොඳම ක්‍රීඩකයින් ලෙස සම්මාන දිනා ගත්තා. ඔවුන් දෙදෙනාම සිය කණ්ඩායම් නවසීලන්ත දේශීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරයින් කරන්නට ඉමහත් සේවයක් ඉටු කළා. 

කොන්වේ පිතිකරණ වේගය 145.18ක් ලෙස රඳවා ගනිමින් ලකුණු 543ක් රැස් කරගත් අතර ඩෙවයින් ලකුණු 365ක් හා කඩුලු 12ක් රැස් කරගෙන තිබුණා. 

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය දේශීය තරග පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගේ අනෙක් සම්මාන අප්‍රේල් 29 වැනිදා ප්‍රදානය කරන්නට නියමිත අතර බ්‍රහස්පතින්දා හා සිකුරාදා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සම්මාන ප්‍රදානය කරන්නට ද සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<