T20 ලෝක කුසලානයේ වාර්තා වුනු හොඳම ශ්‍රී ලංකා ඉනිම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

668

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (17) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ දී ආරම්භ වෙනවා.

2007 සිට පැවත එන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් වාර්තා කර තිබෙන හොඳම සහ අමතකම නොවන ඉනිම් 5ක් තමයි මේ.

ඇන්ජලෝ මැතිව්ස් 40 (23): බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – 2014 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී

ලෝක කුසලාන තරගාවලිවල අවසන් පූර්ව තරග කියන්නේ ඉතාමත් අසීරු තරග වටයක්. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එදා ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23ක දී ලබා ගත් ලකුණු 40 ඉනිම ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පැමිණෙන්න ලොකු හයියක් වුනා.

පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 91ක් ලෙස සටහන් වුනු මොහොතේ ලහිරු තිරිමාන්න සමඟ එක්වුණු මැතිව්ස් සමත් වුනේ පස්වැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 30ක සබඳතාවයක් එකතු කළා.

තිරිමාන්න දැවී යන විට මැතිව්ස් පන්දු 10ක දී ලකුණු 9ක් ලබාගෙන සිටියත්, අවසන් පන්දුවාර දෙක තුල සිය පිතිකරණ රිද්මය වෙනස් කළ මැතිව්ස් 128/5ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු සටහන 160ක් දක්වා රැගෙන ගියා.

කුමාර් සංගක්කාර 52* (35): ඉන්දියාවට එරෙහිව – 2014 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී

ඉන්දියාව ලබා දුන් ලකුණු 130 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කට කඩුලු 2ක් දැවී තරමක් අපහසු මට්ටමකට ඇද සිටී අවස්ථාවේ දී කුමාර් සංගක්කාර පිටියට පිවිසියා.

ඉන්දීය දඟපන්දු යවන්නන් වුනු රවීන්ද්‍ර ජඩේජා සහ සහ රවිචන්ද්‍රන් අශ්වින් ඉතාමත් හොඳින් ස්වීප් පහරවල් එල්ල කරමින් ලකුණු ලබා ගත් අතර සංගක්කාරගේ ආවේණික මනරම් cover-drive පහරවල් නවතා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

අවසන් මහා තරගයේ දී සංගක්කාර ගොඩනැංවූ එම ඉනිම නිසා ශ්‍රී ලංකාවට 1996 වසරට පසුව තවත් ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාව ලැබුණු අතර එය ශ්‍රී ලංකාව දිනා ගත් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ද වුනා.

සනත් ජයසූරිය 88 (44): කෙන්යාවට එරෙහිව – 2007 T20 ලෝක කුසලානයේ දී

මාස්ටර් බ්ලාස්ටර් ලෙස ලොව පුරා කතාබහට ලක්වුණු සනත් ජයසූරිය ලොව පළමු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව පන්දු 44ක දී මේ සුපිරි ලකුණු 88 ලබා ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලකුණු 260ක යෝධ ලකුණක් වාර්තා කරගත්තා. එය තවමත් T20 ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් වාර්තා කරගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද වෙනවා.

සනත්ගේ එම ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනු අතර ඔහු තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මහේල ජයවර්ධන 98* (56): බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – 2010 T20 ලෝක කුසලානයේ දී

2010 T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මහේල සත්කාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව Bridgetown හිදී මේ දස්කම පෙන්නුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස මහේල පන්දු 56ක දී නොදැවී ලකුණු 98*ක් ලබා ගත් අතර එම ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. එම තරගයේ දී මහේල සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 166ක සබඳතාවයක් ගොඩනැංවූවා. අවසානයේ දී ශ්‍රී ලංකාව ලකුණු 195ක් ලබා ගත් අතර තරගය ලකුණු 57කින් ද ජය ගත්තා.

තිලකරත්න ඩිල්ශාන් 96* (57): බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – 2009 T20 ලෝක කුසලානයේ දී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී නැවත වතාවක් කොදෙව් කණ්ඩායමකට එරෙහිව ඩිල්ශාන් මේ සුපිරි දස්කම පෙන්නුවා.

මේ තරගයේ දී ඩිල්ශාන් සහ සනත් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 10ක් තුල ලකුණු 73ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා. ඉන්පසුව ශ්‍රී ලංකා මුල්පෙළ කඩා වැටීමත් එක්ක 77/3ක් දක්වා ශ්‍රී ලංකාව යම් පසුබැස්මකට ලක්වුනා.

නමුත් ඩිල්ශාන් ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 57ක දී නොදැවී ලකුණු 96*ක් ලබා ගත් අතර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව එවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ගොස් එහි අනුශූරතාවය දිනා ගත්තා.

චාමර කපුගෙදර 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී පන්දු 16ක දී ලබා ගත් ලකුණු 37, කුමාර් සංගක්කාර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දු 52ක දී නොදැවී ලබා ගත් ලකුණු 64 සහ ජෙහාන් මුබාරක් පන්දු 13ක දී ලබා ගත් ලකුණු 46* ඉනිම් ද T20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දියත් කළ තවත් අමතක නොවන ඉනිම් කිහිපයක් වෙනවා.

මේ ඉනිම් අතරින් ඔබට අමතකම නොවන ඉනිම මොකක්ද කියලා පහළින් Comment කරන්න.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  අද (17) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (18) නැමීබියාව සමඟ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

එහි තරග තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු  වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<