සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්වයක

456
Sri Lanka vSouth Africa 1st Tet match Day 4
AFP PHOTO

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට හෝ ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම වී තිබේ. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රථම ඉනිමේදී දැක්වූ පිතිකරණ විලාශයට වඩා යම් ප්‍රගතියක් අද (29) තම දෙවැනි ඉනිමේදී පෙන්නුම් කළහ.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් තරගයේ පාලනය සියතට ගනියි

පසුගිය 26 වැනිදා ටෙස්ට් තරග ජයග්‍රහණයක් පිලිබඳ සියුම් බලාපොරොත්තුවක් ද සහිතව ආරම්භ වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගයේ තෙවැනි…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 351ක් ලබාගෙන සිටි දකුණු අප්‍රිකානුවන් පසුවූයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 432ක් ඉදිරියෙන්ය. එය අද දිනයේදී තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් සහ ක්වින්ටන් ඩි කොක් සමත් විය. ඩි කොක් අද තම ටෙස්ට් දිවියේ සත්වන අර්ධ ශතකය ලබාගත් අතර ප්ලෙසිස් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 67ක් වාර්තා කළේය.

රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ ලකුණු 69ක් ලබා සිටි ඩි කොක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානුවන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 488ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් කිසිදු පන්දු යවන්නෙකු එතරම් සාර්ථක නොවූ අතර අර්ධ කාලීන දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන ධනංජය සිල්වා කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

දකුණු අප්‍රිකානුවන් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා පිළ පත්ව ඇති අසීරු තත්වය මැනවින් තේරුම් ගනිමින් පරික්ෂාකාරී ලෙස ඉනිම ආරම්භ කළහ. හොඳ පන්දු වලින් ආරක්ෂා වෙමින්, දුර්වල පන්දු වලින් ලකුණු එකතු කර ගනිමින් ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් පැවැත්වීය. නමුත් තනි ලකුණක් සඳහා දෙගිඩියාවෙන් යුතුව කඩුලු අතර දිව යෑමේ ප්‍රතිඵලයක් ලෙස දිමුත් කරුණාරත්න දැවී යාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත අවාසියක් සිදුවිය. ඒ වන විට දිමුත් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් රැස් කරගෙන සිටියේය.

ඉන් අනතුරුව අංක තුන පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා අද දිනයේදී ද ලකුණු 6ක් රැස් කරගෙන සිටියදී කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේ ටෙස්ට් කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරමිනි. කෞෂාල් සිල්වා ලකුණු 48ක් ලබා සිටියදී රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර ඔහු එම තීරණය අභියෝගයට ලක් කළ ද පුනරූපන මගින් පෙන්නුම් කෙරුනේ එය කෙලින්ම කඩුල්ලේ වදින පන්දුවක් බවයි.

ශ්‍රී ලංකාවට ලකුණු අත්‍යවශ්‍යම මොහොතේ යම්තාක් දුරකට සාර්ථක පිතිකරණයක නියැලුණු කුසල් මෙන්ඩිස් දැකුම්කළු හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් රැස් කළ ද වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව එල්ල කල පහරකින් පන්දුව කඩුලු රකින ක්වින්ටන් ඩි කොක්ගේ දෑතේ නතර වීම නිසා නැවතත් ක්‍රීඩාගාරයට පිය මැනීමට සිදුවිය.

දිනේෂ් චන්දිමාල් අද තම ඉනිම ආරම්භ කළ මොහොතේ සිට ඔහු විසින් ලබා දුන් උඩපන්දු දෙකක්ම දකුණු අප්‍රිකානුවන් විසින් බිම අත හැරියත් ඉන් නිසි ඵල නෙලාගන්නට ඔහු සමත් වූයේ නැත. ඔහු ලකුණු 8ක් ලබා සිටියදී මිඩ් – ඕන් කලාපය හරහා එල්ල කළ පහරක් කාගිසෝ රබාඩා සුරැකිව රැකගත්තේ එකම වරද කිහිප වරක් සිදුකිරීමට චන්දිමාල්ට ඉඩ නොතබමිනි.

ශ්‍රී ලංකාව සෑහෙන තරම් අසීරු අභියෝගයකට මුහුණපා සිටින මේ මොහොතේ කඩුල්ලේ රැඳී සිටින විශ්වාසය තැබිය හැකි අවසන් පිතිකරණ යුගලය වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා සයවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 15ක් එක් කර තිබේ. ඒ වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙයි. ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුම හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවත් ඒ කිසිවෙකුට විශාල ඉනිමක් කරා යාමට නොහැකි වීම ශ්‍රී ලංකා පිළේ තත්වය මෙලෙස දැඩි ලෙස අවදානම් වීමට හේතු විය. එබැවින් සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 240ක් වශයෙනි.

හෙට පස්වැනි දිනය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නව පන්දුවකින් පන්දු යැවීමත්, දිවා කාලය වන විට පන්දුවේ දඟ කැවීම වැඩි වීමට ඉඩ තිබීමත් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම තරගය බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවසන් දිනයේදී ලකුණු 248ක් ලබා ගත යුතු අතර දකුණු අප්‍රිකානුවන්ට දවා ගැනීමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 5ක් පමණි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 64.5): ධනංජය ද සිල්වා 43, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, වර්නන් ෆිලැන්ඩර් 5/45, කයිල් ඇබට් 3/63.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 406 (පන්දුවාර 90.5): ස්ටීවන් කුක් 119, ඩීන් එල්ගාර් 52, හෂීම් අම්ලා 48, ක්වින්ටන් ඩි කොක් 69, ධනංජය ද සිල්වා 2/91, සුරංග ලක්මාල් 1/64.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 240 (පන්දුවාර 83): ඇන්ජෙලෝ මැතිව්ස් 58*, කුසල් මෙන්ඩිස් 58, කෞෂාල් සිල්වා 48, දිමුත් කරුණාරත්න 43, කාගිසෝ රබාඩා 2/72, කේශව් මහරාජ් 2/84.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට