ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩකයා ඕස්ට්‍රේලියා ප්‍රතික්ෂේප කරයි

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2022

1943

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා එරටට පැමිණි ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩක Novak Djokovicගේ වීසා බලපත්‍රය ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔහු මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට පැමිණීමෙන් පසු එහි පැය කිහිපයක් රැඳී සිටීමට ඔහුට සිදුව ඇති අතර පසුව ඔහු එරටට ඇතුළු වීමේ නීති සපුරා නොමැති නිසාවෙන් එරටින් පිටුවහල් කරන බව දැනුම් දී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසුව ඔහුව මීළඟ ගුවන් යානයේ එරටින් පිටත්ව යවන තුරු රජයේ රැඳවුම් හෝටලයකට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වුනා.

කොරෝනා එන්නත් සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිව ඇති අතර Novak Djokovic සිය එන්නත් ලබා ගැනීම පිළිබඳව සටහනක් තබා නොමැති නමුත් පසුගිය වසරේ දී ඔහු එන්නත්කරණයට විරුද්ධ බව ප්‍රකාශ කර තිබුණා.

මෙම සිදුවීමේ දී ස්වාධීන කමිටු දෙකක් මගින් සමාලෝචනය කිරීමෙන් පසු මෙම ක්‍රීඩකයාට වෛද්‍ය නිදහසක් ලබා දීමට තීරණය කර තිබූ බව ඕස්ට්‍රේලියානු ටෙනිස් සංගමය ප්‍රකාශ කර තිබූ නමුත් ඔහු ඩුබායි සිට මෙල්බර්න් නුවරට පැමිණීමෙන් පසු මෙම සිදුවීමට මුහුණපෑමට සිදුව තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු දේශ සීමා බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය සුදුසුකම් මොහු විසින් සපුරා නොමැති නිසා ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කළ බවයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ Novak Djokovicගේ වීසා බලපත්‍රයට සහය දැක්වීමට ප්‍රාන්ත බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මීට අමතරව මෙම විශේෂ සිදුවීම පිළිබඳව අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කර සිටියේ රටේ නීතිවලට ඉහළින් කිසිවෙකුත් නොමැති බවයි.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව එරට දේශීය වාර්තා සඳහන් කර තිබුණේ Novak Djokovic හට නීතිමය අභියාචනාවක් හෝ නව වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කරමින් නැවත තරගාවලියට ඇතුළත් වීමට හැකියාවක් තිබේ යන්නයි.

නමුත් මෙම ටෙනිස් ක්‍රීඩකයාට ඕස්ට්‍රේලියානු බලධාරීන් සැලකූ අකාරය සර්බියානු රජයේ අප්‍රසාදයට පත්ව ඇති අතර Novak Djokovic ගුවන් තොටුපලේ පොලිස් ආරක්ෂාව සහිත කාමරයක රඳවා ඇති බව ඔහුගේ පියා ප්‍රකාශ කර ඇත.

සිය ක්‍රීඩා තරුවට මුහුණ පෑමට සිදු වූ මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ සර්බියානු ජනාධිපති Scott Morrison ප්‍රකාශ කර තිබුණේ තම ටෙනිස් තරුව හිරිහැරයකට ගොදුරු වූ බවත් සහ සමස්ත සර්බියානු ජනතාව ඔහුට සහය දක්වන බවයි.

ඕස්ට්‍රේලියාව තුළ නැවතත් කොරෝනා වසංගතය තරමක් හිස ඔසවමින් ඇති අතර එරට අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් 90%ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති නමුත් පනවා ඇති නීති නිසා ඔවුන්ට සංචාරවල නිරත වීමට පවා නොහැකිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මෙම මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි වත්මන් ශූරයා වන Novak Djokovic නව වතාවක් එහි කිරුළ ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<