ඉන්දීය නායකත්ව ගැටලුව

International Cricket

3076
Courtesy – The Quint

1983 දී කපිල් දේව්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ලෝක තලයේ නම් දැරූ කණ්ඩායමක් වූ බව සැබෑ ය.

එහෙත් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ සටන්කාමීත්වය සහ තරගකාරීත්වය වඩාත්ම ඉහළට ගෙන එන්නට හේතු වූයේ සව්රව් ගංගුලිගේ නායකත්වය බව මගේ හැඟීමයි.

එවන් නායකයන්ගෙන් සවිමත් වූ ඉන්දියානු ක්‍රිකට් වල වසන්ත සමය එළඹුණේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ ලොව සියලු අන්තර්ජාතික තරගාවලි ජය ගනිමිනි. එහෙත් අද? නායකයෙකු සොයාගත නොහැකි තත්වයකට ඔවුන් ඇද වැටුණේ කෙසේ ද?

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දී අප සුලබව දැක ඇති ධර්මතාවයක් නම් ඉහළටම නගින කණ්ඩායම් පහළටම ඇද වැටීමේ ධර්මතාවයයි. ’70/’80 දශකවල ක්‍රිකට් පතාකයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ’90 දශකයේ අග භාගය වන විට බිමට සමතලා වී ගියේය.

’70 දශකයේ අග භාගයේ දී කොදෙව්වන්ට ප්‍රබල ලෙස අභියෝග කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ’80 දශකයේ මුල සිට අග වන තෙක්ම නිද්‍රාශීලී කණ්ඩායමක් විය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1999 ලෝක කුසලාන තරගාවලිය වන විට තරගාවලියේ අසංවිධානාත්මකම කණ්ඩායමක් විය.

1999 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම එතැන් සිට 2002/03 වසර වන තෙක්ම කැඩී බිඳී ගිය කණ්ඩායමක් විය. 2007, 2011 ලෝක කුසලාන ද්විත්වයේ දී ම අවසන් මහා තරග කරා ආ ශ්‍රී ලංකාව ඉන්පසුව බැසගෙන ගිය සඳකි. මේ සියල්ල පිටුපස තිබූ අදෘශ්‍යමාන සාධකය “නායකත්වය” බව ඔබ දුටුවෙහි ද?

අර්ජුන රණතුංග, 1999 ලෝක කුසලාන තරගාවලියේ දී

ක්ලයිව් ලොයිඩ්ගෙන් පසුව කොදෙව් කණ්ඩායමත්, ග්‍රෙග් චැපල්ගෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, අර්ජුන රණතුංගගෙන් පසුව ශ්‍රී ලංකාවත් (’99 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා වූයේ ද අර්ජුන බව සිහි කරමින්), හන්සි ක්‍රොන්යේගෙන් පසුව දකුණු අප්‍රිකාවත්, මහේල ජයවර්ධන/ කුමාර් සංගක්කාරගෙන් පසුව ශ්‍රී ලංකාවත් ඉහළ සිට පහළ වැටීමේ ඉරණමට ලක්වූ කණ්ඩායම් ය.

ඊට හේතු වූ අදෘශ්‍යමාන සාධකය “නායකත්වය” යැයි මා කියන්නේ පරිපාලනමය වශයෙන් කෙතරම් ශක්තිමත් හෝ දුර්වල වුවත්, නිසි නායකත්වය යනු ක්‍රිකට් කණ්ඩායමක් ඔසවා තැබිය හැකි ප්‍රබල සාධකයක් බව දැන ය.

2001/02 තරග වාරයෙන් පසුව සව්රව් ගංගුලිගේ නායකත්වය යටතේ සටන්කාමී ක්‍රිකට් සන්නාමයක් ගොඩනගාගෙන ආ ඉන්දියානු කණ්ඩායම සිය කූටප්‍රාප්තිය සටහන් කරන්නේ මහේන්ද්‍ර සිං දෝනි යටතේ සියලු අන්තර්ජාතික තරගාවලි ජය ගනිමිනි.

2007 විස්සයි විස්ස ලෝක කුසලාන, 2009 අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වීම, 2011 ලෝක කුසලාන, 2013 ශූරයන්ගේ කුසලාන යන මං සලකුණු දෝනිගේ නම ඉදිරියෙන් මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ ද රන් අකුරින් සටහන්ව ඇත. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් නායකත්වයට පත්වූයේ සුපිරි පිතිකරු විරාත් කෝලි යි.

මහේන්ද්‍ර සිං දෝනි සහ විරාත් කෝලි

කෝලිගේ නායකත්වය බොහෝ දෙනාට අමතකව ගිය නායකත්වයක් මෙන් හැඟෙන්නේ දෝනිගේ සෙවණැල්ල ඒ වන විටත් ඉන්දීය ක්‍රිකට් වලට ඉහළින් වැටී තිබීම නිසයි. එහෙත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන එක් රටක දී හැර අන් සෑම රටක දී ම තරගාවලි ජයග්‍රහණය කරන්නට සමත් විය.

පාකිස්තානයට එරෙහිව ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරග ක්‍රීඩා නොකරන පසුබිමක දී තරගාවලියක් ජය ගැනීමට ඔහුට ඉතිරිව තිබුණේ දකුණු අප්‍රිකාවේ දී පමණි.

එහෙත් එම තරගාවලියට එළඹෙන විට ඉන්දියානු ක්‍රිකට් වල බොහෝ දෑ වෙනස් ව තිබුණි. රවී ශාස්ත්‍රී ඉන්දියානු පුහුණුකාරීත්වයෙන් ඉවත් වී රාහුල් ද්‍රාවිඩ් එම තනතුරට පැමිණියේය.

ගැටලුව මතු වුනේ සව්රව් ගංගුලි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පැමිණීමත්, රාහුල් ද්‍රාවිඩ් සමඟ විරාත් කෝලි හට සමීප සම්බන්ධතාවයක් නොපැවතීමත් කරළියට ඒමෙන් පසුව ය.

මෑත කාලීනව විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව දෙවරක්ම ඕස්ට්‍රේලියාවේ දී පරාජය කරනු ලැබිණි. එංගලන්තය එංගලන්තයේ දී පරාජය කරනු ලැබිණි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදීත්, නවසීලන්තයේදීත් අපහසුවකින් තොරවම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කළ ඉන්දියානු කණ්ඩායම පසුගිය දා අවසන් වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයට පිටත්ව ගියේ බලාපොරොත්තු රැසක් කර තබාගෙන ය.

ආසියානු කණ්ඩායමක් විසින් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් එකම අවස්ථාව වනුයේ 2019 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. එබැවින් ප්‍රබල ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා ගියේ ඉතිහාසය වෙනස් කිරීමේ අදිටනිනි.

පළමු තරගය කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියානුවන් විසින් ජය ගත්තත්, දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග ජය ගත් “සාමාන්‍ය” දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

ඒ වන විටත් කතාබහට ලක්වෙමින් තිබූ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පිළිබඳ ගැටලුව යළි ඉලිප්පිණි. තරගාවලිය අවසානයේ දී ඉන්දීය නායක වීරාත් කෝලි විසින් නිවේදනය කොට තිබුණේ තමන් එම ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන බවයි.

මීට හේතු කිහිපයක් තිබිය හැකිය. පිතිකරුවෙකු ලෙස ලකුණු යන්ත්‍රයක් ලෙස හැඳින්වෙන විරාත් කෝලි මේ වන විට සිටින්නේ එතරම් ඉහළ රිද්මයක නොවේ. පිතිකරණ රිද්මය පිළිබඳ පීඩනයත්, තරගාවලි පරාජය පිළිබඳ පීඩනයත් හැරෙන්නට ඔහුට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙනුත් පීඩනයක් එල්ල වුනි ද?

“රවී ශාස්ත්‍රීගේ පුහුණුකාරීත්වය යටතේ විරාත් කෝලිගේ නායකත්වය” හැඳින්වුණේ “දෙපුද්ගල ඒකාධිපතීත්වයක්” වශයෙනි. විරාත් කෝලි නම් සුපිරි පිතිකරුවා අනෙකුත් ඉන්දියානු පිතිකරුවන්ට සාපේක්ෂව ගව් ගණනක් ඉහළින් සිටීමත්, ඔහුගේ මට්ටමේ ඉල්ලුමට සැපයුම ලබා දීමට සෙසු පිතිකරුවන් සහ ක්‍රීඩකයන් අසමත් වූයේ ද යන්න ගැනත් කරළියට පැමිණ තිබේ.

වාර්තා වන පුවත්වලට අනුව නිගමනය කළ හැකි වන්නේ නව පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් එම “ද්වාධිකාරයට” සූදානම් නැති බවයි. නව සභාපති සව්රව් ගංගුලිගේ සභාපතීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද වෙනසක් බලාපොරොත්තු වූ බවයි.

යුගයක ඇරඹුම යුගයක අවසානය ද? ඉන්දීය ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලි

අවාසනාව වන්නේ මේ සියලු ගැටලු මධ්‍යයේ විරාත් කෝලිගේ සුපිරි පිතිකරණය පල්ලම් බැසීමට ලක්වීමයි. ලෝක ක්‍රිකට් පිතිකරණ වාර්තා වේගයෙන් හඹා යමින්, වේගයෙන් පසුකරමින් සිටි කෝලි මේ වන විට සිටින්නේ අවාසනාවන්ත තත්වයක ය. 2019 නොවැම්බර් මාසයෙන් පසුව මෙතෙක් (2022 ජනවාරි) කෝලි විසින් ශතකයක් වාර්තා කොට නැත. අප මේ කතා කරන්නේ නායකත්වයේ වගකීම ද සමඟින් 2017දී ශතක 10ක් වාර්තා කළ අසමසම පිතිකරුවෙකු ගැන ය.

ටෙස්ට් නායකත්වයට සමුදීමට පෙර, 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විස්සයි විස්ස නායකත්වයට සමුදීමට කෝලි තීරණය කළේය. පසුගිය දා අවසන් වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ දී ඉන්දීය නායකත්වය දැරුවේ K.L.රාහුල් ය. ඒ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ලිස්ට් A තරගාවලියක දී නායකත්වය නොදැරූ නායකයෙකු විසින් ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ තෙවැනි අවස්ථාව ලෙස ය.

රෝහිත් ශර්මාගේ නායකත්වය ගැන බොහෝ කතාබහ තිබුනත්, මෙතෙක් ඔහුට නිත්‍ය ඉන්දීය නායකත්වය ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මැළිකමක් දක්වනු පෙනේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගැන සලකා යැයි වාර්තා වේ.

ඉන්දීය ටෙස්ට් නායකත්වය ගැන සැලකීමේ දී ඔවුන්ට තිබූ විකල්ප කෙමෙන් අඩුව යනු පෙනේ. විරාත් කෝලි සමඟ වරින් වර ඕස්ට්‍රේලියාවේ දී සාර්ථකව නායකත්වය දැරූ ආජින්ක්‍ය රහානේ කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමට නොහැකිව අසරණ ව සිටියි.

K.L. රාහුල්ගේ ටෙස්ට් පිතිකරණය ගැන විශ්වාස කළ හැකි නමුත් ටෙස්ට් නායකයෙකු ලෙස ඔහුව අත්හදා බැලීමට ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය හදිසි නොවනු ඇත. පසෙකින් සිටින රෝහිත් ශර්මා සීමිත පන්දුවාර තරගවල දී තම නායකත්ව හැකියාව ඔප්පු කොට ඇති නමුත් දින පහේ තරගවල දී ඔහු ඊට කෙසේ මුහුණ දෙනු ඇත් දැයි සලකා බැලීමට පෙර ඔහු ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස ස්ථාවර විය යුතුය. ඉන්දියාව මුහුණ දෙන නායකත්වය ගැටලුව මෙයයි.

නිත්‍ය නායකයෙකු රහිත සමයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය දැරූ ටිම් පේන් (Courtesy – 100mbsports.com)

මෙවන් අවස්ථාවල දී බොහෝ කණ්ඩායම් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වන්නේ නායකත්වයට දක්ෂ සෙසු ක්‍රීඩකයෙකුව බිල්ලට දී නව නායකයෙකුට නැගී සිටින්නට කල් දී බලා සිටීමයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෑත කාලීනව ටීම් පේන් සමඟ කළේ එවැනි සූදුවකි. දකුණු අප්‍රිකාව මේ වන විට කරමින් සිටින්නේ ද එයයි. ටෙම්බා බවුමා එහි බිල්ල වී ඇත. “ක්‍රිකට් රටා තුනක්, නායකයන් තිදෙනෙක්” යන සංකල්පය ද මේ වන විට ජනප්‍රිය වී තිබේ. එබැවින් ඉන්දියාවට එය ද අත්හදා බැලිය හැක.

කුමක් වුවත් ඉක්මනින් මේ නායකත්ව ගැටලුව නිරාකරණය කර නොගත්තොත් එය ඉන්දියානු ක්‍රිකට් ආධිපත්‍යය කණගාටුදායක අවසානයකට රැගෙන යනු නොඅනුමානය. “ඉහළටම නගින කණ්ඩායම් පහළටම ඇද වැටීමේ ධර්මතාවයෙන්” ඉතිහාසය අපට කියා දී ඇත්තේ ඒ පාඩමයි. එය බිලියන එක හමාරකට ආසන්න ඉන්දියානු මහජනතාවගේ ක්‍රිකට් සිහිනවලට කෙසේ බලපායි ද?

කෙසේ වෙතත් 2022 පෙබරවාරි මාසය වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තරග දෙකකට ඉන්දියාව බලා යාමට නියමිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් නම් ප්‍රතිවාදියාගේ වර්තමාන ගැටලුව වාසිදායක ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<