IPL තරගාවලියේ තහනම් උත්තේජක පරීක්ෂා නවතී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

933
No dope testing of IPL cricketers in UAE translation

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ තරගවලට සහභාගී වන ක්‍රීඩකයන් හට තහනම් උත්තේජක පරීක්ෂා සිදු නොකරන බවක් දක්නට ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියානු ජාතික මත්ද්‍රව්‍ය නාශක ආයතනය මගින් ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ක්‍රීඩා සඳහා තහනම් උත්තේජක පරීක්ෂා සිදු කරන නමුත්, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සාම්පල් ලබා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය නාශක ආයතනය අතර වූ සාකච්ඡාවලින් නොහැකි වීමෙන් පසු කිසිදු මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු අරාබිය වෙත ගොස් නොමැති බව ද ඔවුන් වාර්තා කර තිබුණා.

නමුත් මෙම තරගාවලිය පළමු අදියර ආරම්භයේ දී මත්ද්‍රව්‍ය නාශක ආයතනය විසින් තරග පැවැත්වෙන නගර වූ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි කේන්ද්‍ර කර ගනිමින් තහනම් උත්තේජක පාලන ස්ථාන තුනක් පිහිටුවීමට කටයුතු කළා.

එහි දී තරගාවලියේ මුල් තරග පැවැත්වූ චෙන්නායි නුවර ජෛව ආරක්ෂිත බුබුළ තුළට මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් ද එක්ව තිබූ අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයන් ඉලක්ක කරමින් එම පරීක්ෂා සිදු කර තිබුණා.

නමුත් දැඩි සෞඛ්‍යාරක්ෂිතව පාලනය වූ එම ජෛව ආරක්ෂිත බුබුල තුළට ද කොරෝනා අවදානම පැමිණීමත් සමඟ මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු ද ආසාදිතයෙකු බවට තහවුරු වූ අතර එම නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිර්මාණය කළ මෙම බුබුළු හී ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ද මතු වුනා.

අදාළ නිලධාරියා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු ක්‍රීඩකයන්ගෙන් සාම්පල් එකතු කර ගැනීම මන්දගාමී වූ අතර ඉතාම සුළු පිරිසකගෙන් පරීක්ෂණ සාම්පල් ලබා ගැනීමෙන් පසු තරගාවලිය කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේ ක්‍රීඩකයන් කිහිපයක්ම ආසාදිතයන් බවට තහවුරු වීම නිසයි.

මෙම සිදුවීම්වලින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වූ 2021 IPL තරගාවලියේ දෙවැනි අදියරේ තරගවල දී සාම්පල් එකතු කළ යුතු ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මත්ද්‍රව්‍ය නාශක ආයතනයට නොහැකි වී තිබුණා.

එමෙන්ම මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් හට නැවත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුළට එක්වීමට අවසර ලබා දීමට ක්‍රිකට් ආයතනය මැලි වූ බවක් ද පෙන්නුම් කළ බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත.

The Times of India ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<