ඩී. එස්. ක්‍රීඩකයින් අපරාජිතව බේස්බෝල් ශූරතාවය දිනා ගනී

571
තරගාවලියේ අපරාජිතව ශූරතාවය දිනාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලීය බේස්බෝල් කණ්ඩායම

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය ඊයේ (14) දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

එහි දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අපරාජිතව ශූරතාවය තමන් සතුකර ගත්තේ අවසන් මහා තරගයේ දී ලකුණු 06-03ක් ලෙස සත්කාරක කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත් කරමිනි.

ශූරතාවය අභියස පාසල් හතරක්

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින්..

මෙවර තරගාවලියේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 12-08ක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත්කර අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකි විය. දෙවන අවසන් පූර්ව තරගයෙන් කොළඹ නාලන්ද විද්‍යාලය ලකුණු 09-05ක් ලෙස වෑවල වැව ජාතික පාසල පරාජයට පත් කරමින් නැවත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් ද්විත්වයේ නායකයින් කාසියේ වාසිය උරගා බැලූ අතර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නායක කවිඳු දිල්ෂාන් කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගන්නා ලදි.

අවසන් මහා තරගයට ප්‍රථම පාසල් ද්විත්වයේ ක්‍රීඩකයින් එකිනෙකාට සුබ පතමින්

තම පළමු ඉනිම ආරම්භ කරමින් කොළඹ නාලන්දා විද්‍යාල කණ්ඩායම පිතිකරණය කළ අතර එහි දී නියමිත කඩුලු 3 අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. නාලන්දා විද්‍යාලයේ පළමු ඉනිමට පිළිතුරු ලෙස කොළඹ  

ඩී. එස්. සේනානායක විද්‍යාලය පිතිකරණය ආරම්භ කළ අතර ඔවුන්ට නියමිත කඩුලු 3 අවසානයේ එක් ලකුණකින් සෑහීමකට පත්වීමට සිදු විය. (පළමු ඉනිම අවසානයේ, නාලන්දා 01 – 01 සේනානායක)

දෙවන ඉනිමේ පළමුව පිතිකරණය සඳහා පිවිසි නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩකයින්ට එකදු ලකුණක් වත් රැස් කිරීමට අවස්ථාවක් නොදී ඔවුන්ගේ කඩුලු 3 දවා ගැනීමට සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින්ට ද තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි. (දෙවන ඉනිම අවසානයේ, නාලන්දා 01 – 01 සේනානායක)

නාලන්දා විද්‍යාල කණ්ඩායම තරගයේ තෙවන ඉනිමේ දී නියමිත කඩුලු 3 අවසානයේ එක් ලකුණක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස තම තෙවන ඉනිම ක්‍රීඩා කළ සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින්ට ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් ලබානොදීමටත් නාලන්දා විද්‍යාල ක්‍රීඩකයින්ට හැකි විය. (තෙවන ඉනිම අවසානයේ, නාලන්දා 02 – 01 සේනානායක)

සිව්වැනි ඉනිමේ පිතිකරණයට පිවිසි නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩකයින්ට නියමිත කඩුලු 3 අවසානයේ ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සේනානායක විද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩකයින් තම සිව්වැනි ඉනිමේ දී ලකුණු 4ක් රැස් කිරීමට සමත් විය. (සිව්වැනි ඉනිම අවසානයේ, නාලන්දා 02 – 05 සේනානායක)

නාලන්දා විද්‍යාලයේ පිතිකරුවෙකු පන්දුවට පහරක් එල්ල කරමින්

තම පස්වැනි ඉනිමේ පිතිකරණය සඳහා පිවිසි නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩකයින් එම ඉනිමේ දී එක් ලකුණක් පමණක් රැස්කර ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සේනානායක විද්‍යාල කණ්ඩායමට එම ඉනිමේ දී එකදු ලකුණක් වත් රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි. (පස්වැනි ඉනිම අවසානයේ, නාලන්දා 03 – 05 සේනානායක)

තරගයේ සයවැනි ඉනිමේ පිතිකරණය සඳහා පිවිසි නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩකයින්ට නියමිත කඩුලු 3 අවසානයේ එක් ලකුණක්වත් රැස්කර ගැනීමට නොහැකි වුණු අතර සේනානායක විද්‍යාල කණ්ඩායම ඊට පිළිතුරු ලෙස එම ඉනිමේ දී එක් ලකුණක් පමණක් රැස්කර ගැනීමට සමත් විය. (සයවැනි ඉනිම අවසානයේ, නාලන්දා 03 – 06 සේනානායක)

නාලන්දා විද්‍යාල කණ්ඩායම තරගයේ සත්වැනි ඉනිමේ පිතිකරණයට පිවිසියත් ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදීමට සේනානායක විද්‍යාල කණ්ඩායම සමත් වූ අතර එම ඉනිමේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින්ට ද කිසිදු ලකුණක් රැස්කර ගැනීමට හැකියාවක් නොතිබිණි. (සත්වැනි ඉනිම අවසානයේ, නාලන්දා 03 – 06 සේනානායක)

20න් පහළ පාසල් බේස්බෝල් තරගාවලියේ දෙවන දිනයත් නිමා වෙයි

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ…

තම අටවැනි ඉනිමේ පිතිකරණය සඳහා පිවිසි නාලන්දා විද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිඳ දමමින් එකදු ලකුණක් වත් රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදීමට සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සේනානායකයින් හටත් ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි. (අටවන ඉනිම අවසානයේ, නාලන්දා 03 – 06 සේනානායක)

අවසාන ඉනිමේ පිතිකරණයට පිවිසි නාලන්ද විද්‍යාලයට තරගයේ තව දුරටත් රැඳී සිටීමට නම් මෙම ඉනිමේ දී අවම වශයෙන් ලකුණු 3ක් රැස් කරගත යුතුව තිබිණි. නමුත් ඔවුන් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින් නාලන්දා විද්‍යාලයේ නියමිත කඩුලු 3 කිසිදු එකදු ලකුණක්වත් රැස් කිරීමට නොදී දවා ගැනීමට සමත් විය. ඒ අනූව පිළිතුරු ඉනිමක් ක්‍රීඩා නොකරම ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකිවිය. (තරගය අවසානයේ, නාලන්දා 03 – 06 සේනානායක)

සේනානායකයන් තම ජයග්‍රහණය සමරමින්

අවසන් මහා තරගයෙන් පසු ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ෆසීල් හුසේන්, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් රජිත් රත්නායක, කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, පාසල් බේස්බෝල් සංගමයේ ලේකම් ජයසංඛ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

  • ශූරතාවය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • අනුශූරතාවය – කොළඹ නාලන්දා විද්‍යාලය
  • තෙවන ස්ථානය – වෑවල වැව ජාතික පාසල  

  • තරගාවලියේ අපරාජිතව ශූරතාවය දිනාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලීය බේස්බෝල් කණ්ඩායම

තම කණ්ඩායම ලද ජයග්‍රහණය පිළිබඳ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල බේස්බෝල් කණ්ඩායමේ නායක කවිඳු දිල්ෂාන් ThePapare.com වෙත මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“ඇත්තටම ගොඩක් සතුටුයි මේ ලබපු ජයග්‍රහණය පිළිබඳව. අපි මේ තරගාවලිය සඳහා පුහුණුවීම් කිරීමට හැකි වුනේ සති 2ක කාලයක් පමණයි. ඒ නිසා මේ ජයග්‍රහණය අපිට ඉතා වටිනා ජයග්‍රහණයක්. අපි කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරපු නිසයි අපිට මේ ජයග්‍රහණය හිමි වුනේ.”

මෙම තරගාවලිය පුරාවටම විවිධාකාරයේ දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින්ට හැකිවුණු අතර එම ක්‍රීඩකයින් ඇගයීමට ලක්කරමින් කුසලාන පිරිනැමීමක් ද සිදු කෙරිණි.

විශේෂ දක්ෂතා දක්වා ඇගයීමට ලක්වූ ක්‍රීඩකයින්

  • හොඳම පන්දු රකින්නා (Best Fielder) – සශිර චමෝද් (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • හොඳම පන්දුවට පහරදෙන්නා (Best Hitter) – ජයංග ප්‍රවීන් (කොළඹ නාලන්දා විද්‍යාලය)
  • අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ජනිත් බුද්ධික (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) – ජනිත් බුද්ධික (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ජනිත් බුද්ධික, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබමින්

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී බේස්බෝල් ක්‍රීඩාවේ එක් එක් ක්‍රීඩා ස්ථාන (Playing Positions) සඳහා තෝරාගත් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඕල් ස්ටාර් කණ්ඩායමක් ද (All Star Team) නම් කෙරිණි.

ඕල් ස්ටාර් කණ්ඩායම (All Star Team)

  • පන්දුව යොමු කරන්නා (Pitcher) – වාත්සල්‍ය ගමගේ (කොළඹ රාජකීය විද්‍යාලය)
  • පන්දු රකින්නා (Catcher) – ජයංග ප්‍රවීන් (කොළඹ නාලන්දා විද්‍යාලය)
  • 1වන බේස් ක්‍රීඩකයා (1st Baseman) – පියුමික දිල්ෂාන් (වෑවල වැව ජාතික පාසල)
  • 2වන බේස් ක්‍රීඩකයා (2nd Baseman) – සචින්ත ඉසුරු (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • 3වන බේස් ක්‍රීඩකයා (3rd Baseman) – ගයානු අමසර (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop) – හෂාන් දිලීප් (වෑවල වැව ජාතික පාසල)
  • වම් පසුපෙළ ක්‍රීඩකයා (Left Fielder) – ළහිරු ප්‍රසාද් (වෑවල වැව ජාතික පාසල)
  • මැද පසුපෙළ ක්‍රීඩකයා (Center Fielder) – සශිර චමෝද් (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • දකුණු පසුපෙළ ක්‍රීඩකයා (Right Fielder) – දිල්ෂාන් ළහිරු (වෑවල වැව ජාතික පාසල)
  • D. H. ක්‍රීඩකයා (Designated Hitter) – ඔනෙල නිරුන් (කොළඹ නාලන්දා විද්‍යාලය)

පුරා දින 6ක් පැවති වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය එසේ නිමවුවත් තවමත් නිමා නොවුණු දෙස් විදෙස් කෙළිබිමේ නැවුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<