ශ්‍රී ලංකාවේ දූෂණ පිටුදැකීමේ ප්‍රගතිය ගැන ICCයෙන් ඇගයීමක්

256

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිටුදැකීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් පසුගිය දා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වා සිටියා.

එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහත දැක්වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හඳුනා ගන්නේ කොහොමද?

අපගේ උත්සාහය වෙන්නේ දූෂිතයින් හැකිතාක් දුරස් කිරීමයි. එය කළ හැකි එක් ක්‍රමයක් තමයි දූෂිතයින් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම. ඔවුන් ඔබ වෙත ළඟා වෙනවා නම්, ඔවුන් එය කරන්නේ කොහොමද, ඔබේ දුර්වලතා මොනවා ද, ඔබ සමාජ මාධ්‍ය තුළ කරන්නේ කුමක් ද, ඔබ රාත්‍රි සමාජශාලාවලට යාමට කැමති ද, ඔබ කැසිනෝවකට යාමට කැමති ද, ඩොලර් 10,000ක් ප්‍රමාණවත් ද, ඩොලර් 30,000ක් ප්‍රමාණවත් ද කියන දේවල් ඔවුන් සොයා බලනවා.

ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී බලා ගත යුතු දේ තේරුම් ගන්න ඕනේ. මේ පුද්ගලයන් අතර වඩාත්ම පොදු ක්‍රමය තමයි වෙනස් සමාජ මාධ්‍ය හුවමාරුවක් යොදා ගන්න එක. සමහර විට එය මම ඔබේ පිත්තට අනුග්‍රහය දැක්වීමට කැමතියි කියලා පටන් ගන්න පුළුවන්.

එහෙම නැත්නම් අපේ උත්සවයක් තියනවා, ඔබට එන්න පුළුවන් ද? නැත්නම් ළඟ දී ලීග් තරගාවලියක් තියනවා ඔබ ඩුබායි වලට ඇවිල්ලා අයිතිකරුවන් හමුවන්නේ නැත්තේ ඇයි? වගේ දේවල් අහන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දී, දූෂිතයන් ඔබ වෙතට එන්නේ කෙසේ දැයි සොයා බැලීමට සහ තේරුම් ගැනීමට ක්‍රීඩකයන්ට ඉතා හොඳ හැකියාවක් තියනවා. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් වටා සිටින පුද්ගලයින්ට තමයි මේ දූෂිතයන් මුලින්ම කතා කරන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතම රට ශ්‍රී ලංකාව ද නැත්නම් ඔවුන් දැන් දියුණු වෙලා ද?

ඇත්තෙන්ම විශාල දියුණුවක් තියෙනවා. එක් අවස්ථාවක ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධ සජීවී නඩු 22ක් තිබුණා. මම කිව්වේ ක්‍රිකට් රටවල් අතරින් වැඩිම විමර්ශන සංඛ්‍යාවක් තිබුණ අවස්ථාව ඒක කියලා.

මම කවදාවත් කිව්වේ නැහැ ශ්‍රී ලංකාව තමයි දූෂිතම රට කියලා. මම කවදාවත් එහෙම කිව්වේ නැහැ.  නමුත් එය වෙනස් වෙලා තියනවා. ශ්‍රී ලංකාව දැන් බොහෝ කාලයක් පරීක්ෂණවලින් ප්‍රමුඛයා වෙලා නැහැ. අපි සැලකිය යුතු වෙනසක් දකිනවා.  ඒ හැම සිද්ධියක්ම අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඕනෑම ආකාරයක සැකයක් වාර්තා කිරීමට ක්‍රීඩකයින් යොමු වෙලා තියනවා.

ක්‍රීඩාවෙන් මේ දූෂණ ඉවත් කිරීමට ගත් උත්සාහයන් මොනවා ද?

අපි ශ්‍රී ලංකාව ගැන ගත්තොත් ඔවුන් තරග පාවා දීම අපරාධයක් ලෙස නම් කරන්න නීති සම්පාදනය කළා. ඒක ඉතාමත් ඉහළ උත්සාහයක්. ඒ වගේ නීතියක් ව්‍යවස්ථාවට ගෙන ඒම සඳහා ආසියානු උප මහද්වීපයේ පළමුවෙන් ක්‍රියා කරපු රට ශ්‍රී ලංකාව.

මම හිතන්නේ ඒ පණිවිඩය බොහෝ දෙනා අතරට ගිහින් තියෙනවා. එම නීතිය නොසලකා හැරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට සිරගෙට යන්න සිදු වෙනවා. එය ඉතා වැදගත් දෙයක්. මෙය ඔබට ක්‍රිකට් තරගයක දී නරක ලෙස ක්‍රීඩා කරලා මුදල් උපයා ගන්න අවස්ථාවක් නෙමෙයි. මේ නීති එක්ක ඒක කරලා හිරේ යන්න පුළුවන්.

අපි දැක්කා එංගලන්තයේ ක්‍රිකට් තරග පාවා දීම නිසා සිරගත වෙලා තියනවා. 2010 දී නඩුවක් තිබුණා. ගිය අවුරුද්දේ නඩුවක් තිබුණා. එක්සත් අරාබි එමීර්වල පැවැත්වුන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ නඩුවක් තිබුණා. නමුත් මේ නඩුවල සමහර අය එංගලන්තයෙන් පැමිණි අය. ඒ නිසා ඔවුන්ව මැන්චෙස්ටර් උසාවියෙන් සිරගෙට යැවුවා.

ශ්‍රී ලංකාව තුළ අපි පෙරළියක් දකිනවා. අපි එය බරපතළ වෙනසක් ලෙස සලකනවා මොකද පොලිසිය සහ රජය මැදිහත් වෙලා තියනවා. රජය මේ දේ බැරෑරුම් ලෙස සලකනවා. මගේ අදහස නම් ක්‍රීඩා කරන කණ්ඩායම මේ දේ ක්‍රියාත්මක කර ඇති බවයි.

ක්‍රීඩා කරන කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක්.  කවුරුහරි නරක විදියට සෙල්ලම් කරන්න කිව්වොත් ඔවුන් ඒ බව අපිට කියනවා. ඔවුන් අධිකරණයට පැමිණ සාක්‍ෂි දෙමින් සිටිනවා. ඒ තමයි ඔවුන් කළ යුතු දේ.

නමුත් මට විශ්වාසයි ලොව පුරා සිටින ක්‍රීඩකයන් එය කිරීමට ගොඩක් බය වෙනවා. ඔවුන් එය කරන්න කැමති නැහැ. නමුත් ලංකාවේ ක්‍රීඩකයෝ ඒක කරන්න පටන් අරන්. “ඔයා මෙහෙම කළොත් මම සල්ලි ටිකක් දෙන්නම් කියලා ඔහු කිව්වා” මේවා ඉතා ශක්තිමත්, ඉතා බලවත් සාක්ෂි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ඔබ ලබා දුන් උදව් මොනවා ද?

අපි ඔවුන්ව පුහුණු කර තිබෙනවා. ඔවුන් සමඟ වැඩ කරන්න අපි දෙන්නෙක් ලංකාවට එව්වා. මගේ ප්‍රධාන විමර්ශකයෙක් සහ තවත් විමර්ශකයෙක් දින කිහිපයක් ඔවුන්ව පුහුණු කරනවා.

අපි යම් සිදුවීමකට ප්‍රවේශ වන ආකාරය ඔවුන්ට කියලා දෙනවා. මොකද අපේ අය ක්‍රීඩා දූෂණ පසුබිමකින් පැමිණි අය නිසා සහ ශ්‍රී ලංකාවේ අය පැමිණෙන්නේ පොලිස් පසුබිමකින් නිසා. අපේ නිලධාරීන් පොලිස් පසුබිමෙන් ආවත් වසර ගණනාවක් තිස්සේ ඔවුන් ක්‍රීඩාවේ දූෂණ ගැන අධ්‍යනය කරනවා. අපි ඔවුන් සමඟ වැඩ කර තිබෙනවා.

කොරෝනා නිසා අපිට යම් කාලයක් අහිමි වුනා. අපි ශ්‍රී ලංකාවේ නිලධාරීන් සමඟ වැඩ කරන්න නොහැකි වුනා. අපිට සාමාන්‍ය විදියට සංචාරය කිරීමට හැකි වූ වහාම අපි ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

දූෂිතයන් බිම් මට්ටමේ ක්‍රීඩකයන් ඉලක්ක කරන්නේ කොහොමද?

මේක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. COVID වසංගතය අතරතුර ක්‍රිකට් ක්‍රීඩා කළ එකම තැන වුනේ යුරෝපයේ ක්‍රිකට් සමාජ. මම හිතන්නේ ඉතාලිය, ජර්මනිය, චෙක් ජනරජය, සයිප්‍රසය සහ ෆින්ලන්තය එයට එක්වුනා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් නෙමෙයි.

එම ක්‍රීඩා සමාජ තරගවල දී දූෂිතයන් ක්‍රීඩකයන් ඉලක්ක කර ගෙන තිබුණා. ඒ ඒ කාලය තුළ ඔට්ටු අල්ලන්න හැකියාවක් තියන ක්‍රීඩකයන් ඔවුන් නිසා. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය කිරීමට උත්සාහ කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව අපට දැන් හොඳ අදහසක් ලැබිලා තියන නිසා බොහෝ විට අපි ඔවුන්ව ජාත්‍යන්තර ක්‍රිකට්වලින් ඉවත් කරලා තියනවා.

ඔවුන් දැන් ඊළඟ අවස්ථාව සොයනවා. යමෙකු ඔට්ටු ඇල්ලීමේ වෙළඳපොළක් විවෘත කළ වහාම ඔවුන් අවස්ථාවක් සොයනවා. යුරෝපයේ සිටින මේ ක්‍රීඩකයන් බොහෝ විට සරණාගතයින් සහ මෑතක දී පැමිණි නිසා ඔවුන් එතරම් ධනවත් නැහැ.

මේ පුද්ගලයන් ක්‍රීඩකයින්ට යුරෝ 3000ක් පිරිනමමින් සිටියා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලින් පැමිණෙන අය. ඒ සමහර අයට යුරෝ 3000ක් කියන්නේ ලොකු මුදලක් බව ඔබට වැටහෙනවා ඇති.

ශ්‍රී ලංකාව තුළ, දේශීය දූෂණ විරෝධී නිලධාරීන් දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ පණිවිඩය අරන් යන්න ඕනේ. ඔට්ටු ඇල්ලීමේ වෙළඳපොළක් විවෘත වූ වහාම, දූෂිතයින් තරුණ ක්‍රීඩකයින් හසුකරගන්න උත්සාහ කරනවා. ක්‍රීඩකයා දුප්පත් පවුලකින් එන කෙනෙක් නම් ඩොලර් 3000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මේ දූෂිතයන් නිතරම පහළ මට්ටමේ ක්‍රීඩකයන් ඉලක්ක කරනවා.

ICC විසින් කෙනෙකු දූෂිතයෙක් විදිහට නම් කිරීම සිදු වන්නේ කෙසේ ද?

කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට අපි ඔහුව දූෂණ චෝදනා සහිත කෙනෙක් විදිහට නම් කරනවා. අපි ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයන් පිළිබඳව වසර දෙකක් තිස්සේ විමර්ශනය කළා. ඒත් අපි කිසිවකුට ඔවුන්ගේ නම සඳහන් කරන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කියන්නෙත් නැහැ.

අපි පරීක්ෂණයක් අවසන් කළාම මට කියන්න පුළුවන් අපි එකතු කරගෙන තියෙන සාක්ෂි එච්චරයි කියලා. ඔවුන් යම් දෙයකට සම්බන්ධ වී ඇති බව පෙනෙනවා නමුත් මට චෝදනා නිර්දේශ කිරීමට ඒවා ප්‍රමාණවත් නැහැ කියන්න පුළුවන්. නැතහොත් අපි සතුව බොහෝ සාක්ෂි තිබෙනවා නම් අපි අපගේ නීතිඥයින්ට වාර්තාවක් යවනවා මේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයන්ට චෝදනා ගොනු කරන්න කියලා.

නීතිඥවරයා ඒකට එකඟ වුනාම අපි අදාළ අයට ලිපියක් යවනවා. ඔබ මෙම නීති කඩ කර ඇති බව අපි විශ්වාස කරනවා. ඔබට දැන් අභියාචනා සභාවකට යන්න පුළුවන්, නැතහොත් ඔබට සම්බාධක පිළිගෙන අදාළ දඬුවම්වලට එකඟ වෙන්න පුළුවන් කියලා.

අපි එම පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ කරන පළමු අවස්ථාව එයයි. අපි එහි දී නිවේදනයක් නිකුත් කරනවා. නමුත් අපි කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඊට පස්සේ විනිශ්චය සභාව අවසන් වූ විට හෝ අපි ලබා දුන් සම්බාධකවලට එකඟ වූ විට අපි මුළු කතාවම ප්‍රසිද්ධ කරනවා.

ඊට පස්සේ අපි අපේ වෙබ් අඩවියේ වාර්තාවක් පළ කරනවා. සමහර වෙලාවට කාටහරි කියනවා හෝ ඒක මාධ්‍යවල යනවා. නමුත් අපිට ඒක පාලනය කරන්න බැහැ.  ඒත් අපි කාටවත් කියන්නේ නැහැ.

ක්‍රීඩාව පිරිසිදුව තබා ගැනීමට සාමාජික මණ්ඩලවලින් ලැබෙන සහාය කෙසේද?

වඩා හොඳ ක්‍රිකට් ආයතන වල ශක්තිමත්ම දූෂණ විරෝධී කමිටු තියනවා. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ, ඉන්දියාවේ විශාල දූෂණ විරෝධී දෙපාර්තමේන්තු තියෙනවා. ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. සිම්බාබ්වේ එක් අයෙක් ඉන්නවා. මේ හැමෝම එක්ක අපිට හොඳ සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම පකිස්ථානයට හොඳ දූෂණ විරෝධී ඒකකයක් තියෙනවා. එය ලොව පුරා විචල්‍ය වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<