ජාතික ශූරිය නිමාලිගේ ඔලිම්පික් සිහිනය බිඳ වැටෙයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

919
Nimali Liyanarachchi Tokyo Olympics

වසර 29කට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) උදෑසන තරග බිමට පිවිසියා.

>>නිමාලිගේ ඉසව්වේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 4 වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ඇය මිනිත්තු 2:10.23ක කාලයකින් එම තරගය අවසන් කළේ අටවැන්නා ලෙසයි. එම නිසාවෙන් ඇයට ද ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකි වුනේ නැහැ.

ඇය එම තරගය නිමා කිරීමට ගත කළ කාලය ඇය විසින් මෙම ඉසව්ව නිමා කිරීමට ගත් වැඩිම කාලයක් ලෙස සැලකිය හැකි අතර ඇයගේ පෞද්ගලික හොඳම කාලය මිනිත්තු 2:02.58 ලෙසත්, මෙම තරග වාරයේ හොඳම කාලය මිනිත්තු 2:03.15ක් ලෙසත් සටහන්ව තිබුණා.නිමාලි සහභාගී වූ මූලික වටයේ තරගය සඳහා ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිපයක් ඇතුළත්ව තිබූ අතර එහි පළමු ස්ථානය මිනිත්තු 2:01.42ක කාලයකින් තරගය අවසන් කළ ඇමරිකානු ක්‍රීඩිකා Raevyn Rogers විසින් දිනා ගත්තා.

මීටර් 800 ඉසව්වෙන් මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකි නිමාලි මෙරට ආසියානු පදක්කම් නියඟයට තිත තබමින් වසර 13කට පසු 2017 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 800 රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම 2019 ලෝක හමුදා ක්‍රීඩා උළෙලට ද මෙරට නියෝජනය කරමින් සහභාගි වූ ඇය එහි කාන්තා රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ද සමත් වූ ක්‍රීඩිකාවක්.

මෙරට මලල ක්‍රීඩාවේ ඉතා පසුබෑමකට ලක්වූ යුගයක් ලෙස සැලකෙන කාලයක මලල ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවාවක් කළ නිමාලිගේ පළමු ඔලිම්පික් සහභාගීත්වය මෙය වූ අතර ඇයගේ ඉදිරි කටයුතු සියල්ල ඉතා සාර්ථකව කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<