නිලානි සිය දෙවැනි හොඳම දක්ෂතාවයට

මීටර් 3000 බාධක දිවීමේ සහ දුර පැනීමේ තේරීම් තරගාවලිය

174

ශ්‍රී ලංකා මීටර් 3000 බාධක දිවීමේ ශූරිය වන නිලානි රත්නායක සිය දෙවැනි වේගවත්ම කාලය වාර්තා කරන්නට අද (19) සමත් වුනා. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ තරගාවලියක් වන මීටර් 3000 බාධක දිවීමේ සහ දුර පැනීමේ තේරීම් තරගාවලිය අතරතුරයි.

දියගම දී පැවති මෙම තරගාවලියේ දී ඇය විසින් මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නිමා කරන්නට ගත කළ කාලය මිනිත්තු 9:46.39ක්. මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් විසින් මෙම ඉසව්වේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය ලෙස ද සටහන් වන අතර නිලානි මෙම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ 2022 වසරේ පැවති ජාතික ශූරතාවයේ දී මිනිත්තු 9:40.24ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනි.

මෙම විශේෂ තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබුවේ 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම අභියස සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනි.

ලෝක ශූරතා තරගාවලිය සඳහා යුපුන් අබේකෝන්, නිලානි රත්නායක, සාරංගි ද සිල්වා සහ ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් Quota පදනම මත සුදුසුකම් ලබා ගැනීමේ අභියස සිටින නමුත් තවමත් නිශ්චිත වශයෙන්ම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා නැහැ.

ක්‍රීඩකයා ඉසව්ව ශ්‍රේණිගත කිරීමේ සිටින ස්ථානය
(Road to Oregon)
Quota
යුපුන් අබේකෝන් මීටර් 100 41 48
නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීම 38 45
ගයන්තිකා අබේරත්න මීටර් 800 45 48
සාරංගි ද සිල්වා දුර පැනීම 32 32

තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට තවත් සතියක් පමණ ඉතිරිව තිබෙන අතර අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරගාවලිවලට සහභාගී වී දක්ෂතා දක්වා Quota පදනම මත සුදුසුකම් ලබා ගැනීමට තවමත් අවස්ථාව තිබෙනවා.

අද දිනයේ ගයන්තිකා දැක්වූ දක්ෂතා සමඟින් “Road to Oregon” ශ්‍රේණිගත කිරීමේ ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් එකතු වන අතර ඇයගේ ස්ථානය (38) නොවෙනස්ව පැවතුනත් ලකුණු ගණන 1184 සිට 1185 දක්වා වැඩි වනු ඇත.

අද දිනයේ දක්ෂතා දැක්වූ මීටර් 800 ජාතික ශූරිය වන ගයන්තිකා අබේරත්න විසින් ඉසව්ව නිමා කරන්නට ගත් කාලය මිනිත්තු 2.03.38ක්. ඒ සමඟින් ශ්‍රේණිගත කිරීම සඳහා ඇය තවත් ලකුණු 4ක් එකතු කරගැනීමට සමත් වූ අතර ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 1156 සිට 1560 දක්වා ඉහළ යන නමුත් එය ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ.

කෙසේ නමුත් අවාසනාවකට දුර පැනීමේ ශූරි සාරංගි ද සිල්වා හට අද තරගාවලිය සඳහා සහභාගී වීමට හැකි වුනේ නැහැ.

බාධක දිවීමේ සහ දුර පැනීමේ ප්‍රතිඵල

දුර පැනීම – පිරිමි

  1. ශ්‍රේෂාන් ධනංජය 7.66m
  2. WIK පියසිරි 7.04m
  3. UD යෙශාන් කුමාර 7.00m

මීටර් 3000 බාධක – කාන්තා

  1. නිලානි රත්නායක 9:46.39sec
  2. A ප්‍රියතේෂා 13:16.60sec

මීටර් 3000 බාධක – පිරිමි

  1. HMS කරුණාරත්න 9:25.65sec
  2. ABN අල්විස් 9:26.61sec
  3. MATD සමරසිංහ 9:26.85sec

මීටර් 800 – කාන්තා

  • ගයන්තිකා අබේරත්න 2:03.38sec

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<