උතුරේ ක්‍රීඩකයින් නිදහස් කුසලානයේ අවසන් මහා තරගයට

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

217

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අවසන් පූර්ව වටයේ දෙවැනි අදියරේ අද (01) පැවති උතුරු සහ දකුණු පළාත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසි නැගෙනහිර ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් උතුරු කණ්ඩායම හමුවේ පළමු අවසන් පූර්ව තරගය පරාජයට පත්වීම නිසා මෙම තරගය ජය ගැනීම නැගෙනහිර ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වුනා.

මඩකලපුව Weber ක්‍රීඩාංගණයේ දී අද (01) සවස් වරුවේ පැවති තරගයේ ආරම්භයේ සිටම පළමු අදියරේ දී ලබා ගත් පෙරමුණ එලෙසෙම තබා ගත් උතුරු ක්‍රීඩකයින් නැගෙනහිර ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කළා.

එම අර්ධය තුළ තරමක සටන්කාමී ක්‍රීඩා විලාශයක් නැගෙනහිර ක්‍රීඩකයින්ගෙන් ද දක්නට ලැබුනත්, එම අර්ධය අවසන් වනතුරුම කිසිදු ගෝලයක් ලබා ගැනීමට දෙපිලේ ම ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ ද උතුරු පළාත් ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කරමින් දක්නට ලැබූ නමුත් තරගයේ 84 වැනි මිනිත්තුවේ දී නැගෙනහිර ක්‍රීඩකයින්ට හිමි වූ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවක් සාර්ථකව නිමා කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ අවසන් භාගයේ දී උතුරු ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ගෝල ලබා ගැනීමට ආසන්න අවස්ථා කිහිපයක් නිර්මාණය කිරීමට නැගෙනහිර ක්‍රීඩකයින්ට හැකි වූවත්, ඒවා ගෝල බවට පරිවර්තනය කිරීමට නොහැකි වීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඒ සමඟින් පළමු තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට උතුරු පළාත් ක්‍රීඩකයින් සමත්ව තිබූ නිසා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට උතුරු ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 0-0 නැගෙනහිර පළාත

තරගාවලියේ දෙවැනි වටයේ අනෙක් අවසන් පූර්ව තරගය හෙට (02) සබරගමු සහ දකුණු පළාත් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<