රුසියාවට එරෙහිව FIFA සහ UEFAගෙන් දැඩි තීරණ

527

රුසියානු ජාතික පාපන්දු සහ රුසියානු පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා නැවත දැනුම් දෙනතුරු තරගාවලි සඳහා සහභාගී වීම තහනම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

එම තීරණයත් සමඟින් රුසියාවට මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පිරිමි පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වීමේ අවස්ථාව ද අහිමි වන අතර ඔවුන්ගේ කාන්තා කණ්ඩායමට ද යුරෝපා ශූරාතාවය අහිමිව යනු ඇත.

එමෙන්ම යුරෝපා පාපන්දු ලීගයෙන් Spartak Moscow කණ්ඩායම ඉවත් කිරීමට ද යුරෝපා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙන අතර ඔවුන්ගේ ඉවත් කිරීම නිසා ඔවුන්ගේ අවසන් ප්‍රතිවාදියන් වූ RB Leipzig කණ්ඩායම ඉදිරි වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර සහ යුරෝපා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටියේ,

පාපන්දුව සම්පූර්ණ වශයෙන් එක්සත්ව යුක්‍රේනයේ පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහයෝගීතාවෙන් වැඩ කරනවා. යුක්‍රේනයේ සිදුවීම ඉක්මනින් හොඳ අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර මිනිසුන් අතර සහයෝගිතාව සහ සාමය වර්ධනය කිරීමට පාපන්දු හොඳ මාධ්‍යයක් වේ යැයි විශ්වාස කරනවා”.

Belarus හි සහයෝගය ඇතිව රුසියාව විසින් පසුගිය බ්‍රහස්පතින්දා යුක්‍රේනයට හමුදා ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාපන්දු සංගම් මෙම තීරණ ගෙන තිබුණා.

රුසියානු පාපන්දු කණ්ඩායම පෝලන්තය සමඟ මාර්තු 24 වැනිදා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ නමුත්, එම තරගය ක්‍රීඩා කිරීමට පෝලන්තය සිය අකැමැත්ත ප්‍රකාශ කර තිබුණා.

මෙම පාපන්දු තහනම පිළිබඳව සිය අදහස් දක්වමින් රුසියානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටියේ, එයට සම්පූර්ණයෙන් එකඟ විය නොහැකි බවත් මෙම තීරණය ලෝක ක්‍රීඩා නීති අනුව වෙනස් විය යුතු බවයි.

මීට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් රුසියාවට සිය දේශයේ ධජය යටතේ ක්‍රීඩා නොකර රුසියානු පාපන්දු සම්මේලනය යටතේ තරග වැදීමට උපදෙස් දුන් නමුත් පෝලන්තය, අයර්ලන්තය, ස්වීඩනය වැනි රටවල් රැසක් ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එමෙන්ම මෙම වසරේ මැයි මාසයේ දී රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ Champions League අවසන් මහා තරගය ද ක්‍රීඩා සමාජවල විරෝධය මත ප්‍රංශයේ පැරිස් නුවරට ගෙන යාමට ද එහි සංවිධායකයින් තීරණය කර තිබුණා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<