සියවැනි සටනට එද්දී සංගාගේ පාරේ ගිය ඛාන්

109

අදට සංගක්කාරගේ වයස අවුරුදු 37යි දින 240ක් වන අතර යුනිස් ඛාන්ගේ වයස අවුරුදු 37යි දින 207කි. දෙදෙනාම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ වසර 2000දීය.

එනම් 2000 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් හා එක්දින වරම් ලැබීමට යුනිස් ඛාන් සමත් වූ අතර සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් හා එක් දින වරම් ලබා ගන්නේද 2000 වසරේ ජූලි මාසයේදී. එම වසරේදී සංගක්කාර එක් දින වරම් ලබා ගන්නේ පාකිස්තානයට එරෙහිව වීම විශේෂත්වයක් වන අතර ටෙස්ට් වරම් ලබා ගන්නේ එම වසරේදීම දකුණු අප්‍රිකාවට එරෙහිවය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයකුට තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායමක් සමඟ තම 100 වැනි ටෙස්ට් තරගයටද සහභාගි වීමට ලැබීම අපූර්වත්වය දනවන සිදුවීමක්. කෙසේ වෙතත් මේ දිනවල කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන් ටෙස්ට් තරගය යුනිස් ඛාන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වන විට සංගක්කාරගේ 132 වැනි ටෙස්ට් තරගය බවට එය පත්වුණා. 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වූ පාකිස්තාන් ක්‍රීඩා ලැයිස්තුවේ 5 වැනි තැන ගන්නට අද යුනිස් සමත් වී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා (25දා) කොළඹ පී. සරවනමුත්තු පිටියේදී ඇරැඹුණු ටෙස්ට් තරගයට සහභාගි වෙමින් තම 100 වැනි ටෙස්ට් තරගය සනිටුහන් කළ යුනිස් ඛාන් ඊට පෙර දින කියා සිටියේ එය තම සිහිනයක් සැබෑ වූවාක් මෙන් සලකන බවයි. තමන්ට සෑම විටම ටෙස්ට් තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට වුවමනාව තිබූ බව පැවැසූ ඛාන් ‘එක් දින හා විස්සයි – 20 තරගවලදී රට වෙනුවෙන් ඉහළම මට්ටමේ කුසලාන දිනා දෙන්නට මට දායක වෙන්න හැකි වුණා. එහෙත් තව බොහෝ දේවල් මට ජයග්‍රහණය කරන්න තියෙනවා කියල මම විශ්වාස කරනවා. අපට තිබුණ ප්‍රශ්න නිසා හිස් ක්‍රීඩාංගණවල පවා ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න අපට සිදු වුණා. ඒක මානසික වශයෙන් දරාගත නොහැකි කරුණක්. ඒත් මම හැමවිටම ස්වභාවධර්මයා සමඟ විනෝදාත්මක ජීවිතයක් ගත කරන කෙනෙක්. මම ක්‍රීඩාවෙන් සමුගන්නා දිනයත් වැඩි අෑතක නැහැ. ඒත් මම පසුකළ යුතු තවත් ඉලක්ක කිහිපයක් ගැන මගේ හිතේ තියෙනවා. කෙටි කාලයක් තුළ මම සිතන ඉලක්ක සපුරා ගන්න බැරි වුණොත් මම විශ්‍රාම යන දිනයත් ඉක්මනින්ම ඔබලාට දැනගන්න ලැබේවි.’ යනුවෙන්ද හිටපු පාකිස්තාන් ක්‍රිකට් නායකයා පැවැසීය.

එහෙත් මෙකී ඔහුගේ සිතේ තිබූ එක් ඉලක්කයක් පසුකළ මොහොතේ එනම් 2009 වසරේදී එංගලන්තයේ පැවැති අයි.සී.සී. විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පාකිස්තාන් පිල මෙහෙයවූ යුනිස් ඛාන් එදා කී වදන් පෙළක් මෙම ලියුම්කරුට තවමත් මතකය. එම අවසන් මහා තරගයේදී පාකිස්තාන් පිලේ ප්‍රතිවාදියා වූයේ ශ්‍රී ලංකාවයි. ප්‍රථම වරට විස්සයි – 20 ලෝක කුසලානයක් තම රටට දිනා දීමත් සමඟ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී තම අදහස් දැක්වූ යුනිස් ඛාන් ‘පාකිස්තානය වෙනුවෙන් ලෝක කුසලාන දෙකක් දිනා දුන්නෙ ඛාන්ල දෙන්නයි. පළමු වැනියා 1992දී එක් දින ලෝක කුසලානය දිනා දුන්න ඉම්රාන් ඛාන්. දෙවැනියා විස්සයි – 20 ලෝක කුසලානය දිනා දුන්න ඛාන් මමයි’ යනුවෙන් පැවැසීය.

මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාකිස්තාන් පිතිකරුවන් අතර වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කොට ඇති පිතිකරුවා ලෙස යුනිස් ඛාන්ගේ නම වාර්තා අතරට එක්වෙද්දී ඔහුට සමාන්තරව ශ්‍රී ලංකාව පැත්තෙන් කියැවෙන්නේ කුමාර් සංගක්කාරගේ නමය. ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී මොවුන් දෙදෙනා පෙන්වා ඇති අතීත දස්කම් අතර සමාන කමක් ඇත්තා සේම ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අදාළව යුනිස් හා සංගක්කාර කරන ප්‍රකාශවලද යම් සමාන බවක් පෙනේ. එනම් යුනිස් ඛාන් තමාගේ සමුගැනීම තවත් කෙටි කාලයකින් සිදුවිය හැකි යැයි ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්කාර තම සමුගැනීම ගැන එවැනි මත පළකරමින් සිටී.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතෙක් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් (12,271) වාර්තා කර ඇති සංගක්කාර එක් ඉනිමකදී ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 319කි. එසේම යුනිස් ඛාන් තම රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ 3 වැනි තැනට පත්ව ඇති අතර ඔහු තරග 99කට සහභාගි වී ලකුණු 8,594ක් රැස්කොට ඉනිමක ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව 313ක් ලෙස සටහන් කර ඇත. දෙදෙනාම එසේ ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලෙස තුන්සියයේ සීමාව පසුකොට ඇති අතර සංගක්කාරගේ හා යුනිස්ගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය පිළිවෙළින් 54.23ක් හා 53.71කි. ඒ අතර සංගක්කාර ටෙස්ට් ශතක 38ක් හා අර්ධ ශතක 22ක් ලබා සිටිද්දී යුනිස් ඛාන් ටෙස්ට් ශතක හා අර්ධ ශතක 29 බැගින් ලබා තිබීමද කැපී පෙනෙන සටහනකි.