Neymar ඇතුළු PSG ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා!

285

බ්‍රසීල ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar ඇතුළු ප්‍රංශයේ ප්‍රබල Paris Saint-Germain (PSG) පාපන්දු සමාජය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 3 දෙනෙකු හට COVID-19 වෛරසය වැළඳී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. 

ඒ අනුව Neymarට අමතරව ප්‍රබල ක්‍රීඩකයන් වන Angel Di Maria සහ Leandro Paredes ද වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් හරහා AFP වෙබ් අඩවියට අනාවරණය වී ඇත. 

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් PSG පාපන්දු සමාජය පවසා සිටියේ; 

“PSG ක්‍රීඩකයින් තිදෙනෙකු හට COVID-19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් අදාළ සෞඛ්‍ය නියමාවලියට යටත් කර තිබෙන්නේ.” 

“ක්‍රීඩකයින් සියලු දෙනාම මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාව ද ඉදිරියේ දී ඒ අදාළ COVID-19 පරීක්‍ෂණ වලට ලක්කරනවා.” ලෙසයි. 

මෙහිදී මෙම පුවත ගැන විමසීමට AFP වෙබ් අඩවිය විසින් PSG පාපන්දු සමාජය සම්බන්ධ කරගෙන ඇතත් එහිදී එම අදාළ ක්‍රීඩකයින්ගේ අනන්‍යතාවය හෙළිකිරීමට ඔවුන් ප්‍රතික්‍ෂේප කර ඇත. කෙසේ නමුත් Neymar එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් එක් අයෙකු වන්නේ දැයි විමසා සිටි විට ඔවුන් එය තහවුරු කරමින් පිළිතුරු ලබාදී ඇති අතර ප්‍රංශ මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටියේ එම අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ Di Maria සහ Paredes බවයි. 

තවත් කියවන්න;

මෙම ක්‍රීඩකයින් තිදෙනාම පසුගිය අගෝස්තු මස 24 වන දින ජර්මනියේ Bayern Munich කණ්ඩායමට එරෙහිව පෘතුගාලයේ දී පැවති UEFA Champions League තරගාවලියේ අවසන් මහා තරගයේ දී PSG වෙනුවෙන් ආරම්භක ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරනු ලැබූ අතර කෙසේ නමුත් එම තරගය ඔවුන් ගෝල 1-0ක් වශයෙන් පරාජයට පත්විය. 

එම තරගාවලිය අවසානයේ ඔවුන් තිදෙනාම සිය නිවාඩු කාලය ගතකිරීම සඳහා ස්පාඥ්ඥ දූපතක් වන Ibiza දූපත වෙත ගොස් ඇති අතර වාර්තා වන අන්දමට ඔවුන් මෙම වෛරසයට ගොදුරු වී ඇත්තේ එහි රැඳී සිටින අතරතුරය. 

කෙසේ නමුත් ප්‍රංශයේ Ligue 1 ලීග් තරගාවලිය මේ වන විටත් ආරම්භ වී ඇති අතර Champions League තරගාවලිය හේතුවෙන් PSG කණ්ඩායම එම තරගාවලිය යටතේ සහභාගී වීමට නියමිතව තිබූ පළමු තරගය මෙම සැප්තැම්බර් මස 10 වන දින දක්වා කල් දමා ඇත. ඒ අනුව එළඹෙන 10 වන දින ඔවුන් Lens කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත වන අතර මෙම ක්‍රීඩකයින් හට එම තරගය ද ඇතුළුව ආරම්භක තරග කිහිපයකටම සහභාගී වීමට නොහැකි වනු ඇතැයි තවදුරටත් වාර්තා වේ.  

www.hindustantimes.com වෙබ් අඩවියේ පළමු ලිපියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<