Home Sinhala ඕස්ට්‍රේලියාව සිය පළමු T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

ඕස්ට්‍රේලියාව සිය පළමු T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

695

ඩුබායි හිදී අද (14) පැවති 2021 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් පරාජය කළ ඕස්ට්‍රේලියාව මෙවර T20 ලෝක ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සුපිරි 12 වටයේ පළමු සහ දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථාන දිනාගෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහි දී ඔවුන් පිළිවෙළින් පාකිස්තානය සහ එංගලන්තය කඩුලු 5කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

නවසීලන්තය ICC T20 ලෝක කුසලාන ඉතිහාසය තුල අවසන් මහා තරගයක් සඳහා පැමිණි පළමු අවස්ථාව මෙය වූ අතර ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයකට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. අවසන් මහා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
  • නවසීලන්තය – Martin Guptill, Daryll Mitchell, Kane Williamson (capt), Tim Seifert (wk), Glenn Phillips, James Neesham, Mitchell Santner, Tim Southee, Adam Milne, Trent Boult, Ish Sodhi.

නවසීලන්තය වෙනුවෙන් Guptill සහ Mitchell ඉනිම ආරම්භ කළ අතර ලකුණු 11ක් ලබාගෙන සිටි Mitchellගේ කඩුල්ල Powerplay අවස්ථාව තුල දවාගෙන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් නවසීලන්ත කඩුලු දවා ගැනීම ආරම්භ කළා.

Guptill සමඟ එක්වූ නායක Williamson දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45ක දී ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

4 පහර 3ක් සමඟ ලකුණු 28ක් ලබාගෙන සිටි Guptillගේ දැවී යාමට පසුව Phillips සහ Williamson තෙවැනි කඩුල්ල වෙනුවෙන් නැවත වරක් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. පන්දු 38ක දී ගොඩනැංවුණු එම සබඳතාවය ලකුණු 68කින් සවිමත් වුනා.

නායක Williamson නවසීලන්ත ඉනිමේ කොඳුනාරටිය බවට පත්වෙමින් සුපිරි ඉනිමක් දියත් කළා. එහි දී ඔහු ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයක දී නායකයෙකු විසින් ලබා ගත් වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතුකර ගැනීමට සමත් වුනා.

Powerplay අවස්ථාව තුල කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා ගත් නවසීලන්තය පන්දුවාර 15ක් පමණ මධ්‍යස්ථ වේගයකින් ලකුණු ලබා ගත් නමුත්, Starc දියත් කළ 16 වැනි පන්දුවාරයේ දී ලකුණු 22ක් ලබාගෙන ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරගැනීමට Williamson සමත් වුනා.

අවසානයේ දී ලෝක කුසලාන T20 තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Hazlewood ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුවත්, ඔවුන්ගේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන Starcගේ පන්දුවාර 4 තුල ලකුණු 60ක් ලබා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වුනා. එය ලෝක කුසලාන T20 තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක පන්දු යවන්නෙක් ලබා දුන් වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

T20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට පැමිණ අනුශූරතාවයක් පමණක් දිනාගෙන තිබූ ඕස්ට්‍රේලියාවේ ඉනිම ආරම්භ කළේ නායක Finch සහ Warnerයි. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූයේ ලකුණු 15ක් පමණයි.

කෙසේ නමුත් ඔවුන් සිය powerplay අවස්ථාව තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 43ක් ලබාගෙන නවසීලන්තයට සාපේක්ෂව පළමු පන්දුවාර 6 වාසිය සියතට ගැනීමට සමත් වුනා.

අනතුරුව පිටියේ එක්වුණු Warner සහ Marsh දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59ක් තුල වේගවත් ලකුණු 92ක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වාසිය නැවත වතාවක් ඔවුන්ගේ දෙසට රැගෙන ආවා.

Warner පන්දු 38ක දී ලකුණු 53ක් සමඟ සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් 21 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 3ක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි. මද විරාමයකට පසුව Boult ක්‍රියාත්මක කළ තෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී Warnerගේ කඩුල්ල ඕස්ට්‍රේලියාවට අහිමිව ගියත්, අනෙක් අන්තයේ සිටි Marsh ඉතාමත් හොඳ රිද්මයකින් පන්දුවට පහර දෙමින් සිටියා.

පසුව තවදුරටත් නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ Marsh 4 පහර 6ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 50ක දී නොදැවී ලකුණු 77ක් ලබාගෙන ඕස්ට්‍රේලියාව දිනා ගත් 6 වැනි ICC ලෝක කුසලානය සහ පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට අවශ්‍ය මඟ සකස් කළා.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 39ක දී නොදැවුණු ලකුණු 69*ක සබඳතාවයක් ගොඩනැංවීම සඳහා අනෙක් අන්තයෙන් සවියක් වුනු Maxwell පන්දු 18ක දී නොදැවී ලකුණ 28*ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඔහුගේ එම ඉනිමට 4 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

නවසීලන්තය වෙනුවෙන් Boult හට හැරෙන්නට අනෙක් එකඳු පන්දු යවන්නෙක් හට හෝ සාර්ථක වීමට හැකියාවක් නොලැබුණු අතර නවසීලන්ත පන්දු රැකීම යම් මට්ටමක දුර්වල මට්ටමක තිබුණා.

තරගයේ ලකුණු සාරාංශය,

නවසීලන්තය – 172/4 (20): Kane Williamson 85, Martin Guptill 28, James Neesham 13*, Josh Hazlewood 3/16, Adam Zampa 1/26.

ඕස්ට්‍රේලියාව – 173/2 (18.5): Mitchell Marsh 77*, David Warner 53, Glenn Maxwell 28*, Trent Boult 2/18.

  • තරගයේ වීරයා – Mitchell Marsh (ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වීරයා – David Warner (ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – Babar Azam (පාකිස්තානය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


New Zealand
172/4 (20)

Australia
173/2 (18.5)

Batsmen R B 4s 6s SR
Martin Guptill c Mitchell Starc b Adam Zampa 28 35 3 0 80.00
Daryl Mitchell c Matthew Wade b Josh Hazlewood, 11 8 0 1 137.50
Kane Williamson c Steve Smith b Josh Hazlewood, 85 48 10 3 177.08
Glenn Phillips c Glenn Maxwell b Josh Hazlewood, 18 17 1 1 105.88
James Neesham not out 13 7 0 1 185.71
Tim Seifert ( not out 8 6 1 0 133.33


Extras 9 (b 1 , lb 3 , nb 1, w 4, pen 0)
Total 172/4 (20 Overs, RR: 8.6)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 60 0 15.00
Josh Hazlewood, 4 0 16 3 4.00
Glenn Maxwell 3 0 28 0 9.33
Pat Cummins 4 0 27 0 6.75
Adam Zampa 4 0 26 1 6.50
Mitchell Marsh 1 0 11 0 11.00


Batsmen R B 4s 6s SR
David Warner b Trent Boult 53 38 0 0 139.47
Aaron Finch c & b Trent Boult 5 7 0 0 71.43
Mitchell Marsh not out 77 50 0 0 154.00
Glenn Maxwell not out 28 18 0 0 155.56


Extras 10 (b 0 , lb 4 , nb 0, w 6, pen 0)
Total 173/2 (18.5 Overs, RR: 9.19)
Bowling O M R W Econ
Trent Boult 4 0 18 2 4.50
Tim Southee 3.5 0 43 0 12.29
Adam Milne 4 0 30 0 7.50
Ish Sodhi 3 0 40 0 13.33
Mitchell Santner 3 0 23 0 7.67
James Neesham 1 0 15 0 15.00