46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉසව් ආරම්භය සිකුරාදා

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල

193

මෙරට විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ 46 වැනි අදියරට සමගාමීව පැවැත්වෙන මැරතන් තරග, ඇවිදීම සහ පාපැදි ඉසව් මෙම සතිඅන්තයේ දී කතරගම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර ඇත.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සහ ඊට සමගාමී ඉසව් කොරෝනා වසංගතය නිසාවෙන් කල්දැමීමට සිදු වූ අතර එහි වර්තමාන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.

එහි දී මාධ්‍ය සාකච්ඡාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග මෙම වසරේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම මැරතන් තරගයන්හී මුල් ස්ථාන 5 දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුප්‍රකට කොළඹ මැරතන් තරගය සඳහා ඇතුළත් වීමේ අවස්ථාව හිමිවන බව ද එතුමා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව තරගාවලියේ මැරතන් තරග මාර්තු 26 වැනිදා (සිකුරාදා) කතරගම දී ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ක්‍රීඩකයන් 85ක් ක්‍රීඩිකාවන් 45ක් ඇතුළු මුළු තරගකරුවන් 130 දෙනෙකු සහභාගි වීමට ලියාපදිංචි වී තිබේ.

එයට පසුව මාර්තු 27 වැනිදා (සෙනසුරාදා) කාන්තා සහ පිරිමි  ඇවිදීමේ තරග ඉසව් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ් සඳහා ක්‍රීඩකයන් 100ක්, ක්‍රීඩිකාවන් 40ක් ඇතුළු සමස්ත තරගකරුවන් 140 දෙනෙකු සහභාගි වීමට ලියාපදිංචි වී ඇත.

පසුව මාර්තු 29 වැනිදා (සඳුදා) කාන්තා හා පිරිමි පාපැදි තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩකයන් 270ක් සහ ක්‍රීඩිකාවන් 40ක් ඇතුළු මුළු තරගකරුවන් 310 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

තවත් ක්‍රීඩා පුවත්:

මෙවර තරගාවලියේ අනුග්‍රාහක කටයුතු නෙස්ටමෝල් (නෙස්ට්ලේ) ආයතනය විසින් දරණ ඇති අතර අනුග්‍රාහක චෙක්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද අද සිදු කෙරුනා.

එමෙන්ම මෙවර තරගාවලිය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පැවැත්වෙන නිසාවෙන් ඒ සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ද සීමා කිරීමට කටයුතු කර තිබේ. 

තවද 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනයන් තවමත් තීරණය කර නොමැති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම වසරේ සිට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කරන්නේ වසර දෙකකට වරක් බවත්, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය නොකරන වර්ෂයේ ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පළාත් පාලන ආයතනයක් වෙත ලබා දීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<